‘ගණිකා වෘත්තිය’ කතාවෙන් නිළියන්ට අපහාස කරන්න එපා
සංජය ලීලාරත්නපසුගිය සතියේ එක්තරා රූපවාහිනී නාළිකාවක පැවැත්වූ දේශපාලනමය සාකච්ඡා වැඩසටහනකදී එක් දේශපාලනඥයෙක් අපේ රටේ නිළියන් පිළිබඳ දරුණු ප්‍රකාශයක් කළා. ඒ මොහොතේ එම වැඩසටහනට ආරාධිත අමුත්තකු වශයෙන් සහභාගි වී සිටි මේ රටේ ප්‍රවීණ නළුවකු හා චිත්‍රපට අධ්‍යක්ෂවරයකු වන සංජය ලීලාරත්න ඔහුට එරෙහිව සිය වෘත්තීය සහෝදරියන් වෙනුවෙන් විශේෂ ප්‍රශ්න කිරීමකට එක් වුණා. එහෙත් මේ වැඩසටහනේ ස්වරූපය අනුව ඔහුට මේ පිළිබඳ දිගින් දිගටම කරුණු ඉදිරිපත් කිරීමේ අවස්ථාව අහිමිව ගියා. මේ නිසා ඒ පිළිබඳ වැඩිදුර විස්තර දැනගැනීමට පසුගිය දිනක අපේ සාකච්ඡාව ඔහු වෙත යොමු කළා.
අපි මුලින්ම ඔබ සහභාගි වූ එම දේශපාලනමය සාකච්ඡා වැඩසටහන පිළිබඳ කතා කරමු.‘සිරස’ නාළිකාව විකාශය කරන ‘සටන’ වැඩසටහන සාමාන්‍යයෙන් පෙළ ගැසෙන්නේ කාලීන විෂයක් සම්බන්ධයෙන් මේ රටේ දේශපාලනඥයින් කිහිප දෙනෙකු ගෙන්වා සාකච්ඡාමය ස්වරූපයෙන්. නමුත් ඔය කියන දවසේ ‘සටන’ වැඩසටහනේ මාතෘකාව වෙලා තිබුණේ කාලීන සිදුවීමක් පිළිබඳ නොවෙයි. එදා කතා කළේ සර්වකාලීනව බලපාන ප්‍රශ්නයක් පිළිබඳ. ඒ තමයි ‘ආචාර ධර්ම’ කියන පුළුල් මාතෘකාව. එම වැඩසටහනට ඔබ සහභාගි වුණේ කුමන පදනමකින් ද? මේ වැඩසටහන සඳහා හැම දවසකම ආරාධිතයන් 40 දෙනෙකුට සහභාගි විය හැකියි. එදා මේ 40 දෙනා අතර මමත් ආරාධිතයෙක්. මේ ආරාධිතයින් අසුන්ගෙන සිටින සභා ගර්භයේ තමයි මමත් හිටියේ. ඉස්සරලම මේ සාකච්ඡාවේදී මුලින්ම සිද්ධ වුණේ ඇතැම් දේශපාලන පක්ෂ නියෝජනය කරපු නියෝජිතයන් තමන් විසින්ම ආචාර ධර්ම නැතිකර ගැනීම. මට හිතුණා සමහරු කතා කළේ දේශපාලන වෛර යටි හිතේ තැන්පත් කරගෙන ද කියලත්. මෙතැනදී ප්‍රධාන මාතෘකාව වූ ‘ආචාර ධර්ම’ සමඟ බද්ධ වෙලා කතා කළේ එච්. ආර්. මිත්‍රපාල නියෝජ්‍ය ඇමැතිවරයා සහ අතුරලියේ රතන හිමියන් විතරයි. අනිත් අයගෙන් මම දැක්කේ සහ මට තේරුණේ ඒ අයගේ යටි හිතේ තිබෙන දේශපාලන වෛරය මේ මාතෘකාවෙන් කතා කරන්න උත්සාහ දැරීමයි. ඒ මඟින් වුණේ ඔවුන්ගේ ආචාර ධර්ම නැතිකරගත්ත එක විතරයි. මේ මාතෘකාවේදී මේ රටේ එක්තරා දේශපාලනඥයෙක් ‘නිළියන්’ පිළිබඳ බරපතළ ප්‍රකාශයක් කළා. ඒ කතාබහ ඇතිවුණේ කොහොම ද? කාටත් හිතාගන්න බැරුව ඇති මෙතනට ඒ ප්‍රශ්නය ආවේ කොහොම කියන්න. මේ සාකච්ඡාවේදී එක පාරටම සුනිල් හඳුන්නෙත්ති මන්ත්‍රීවරයා “ජනප්‍රිය සුපිරි නිළියෝ අද ගණිකා වෘත්තියේ යෙදෙනවා” කියලා ප්‍රකාශයක් කළා. මේක කිව්වම පොඩි නොසන්සුන් බවත් එම සභා ගර්භයේ ඇතිවුණා. එයා කතා කරලා ඉවර වුණාට පස්සේ හතර වැනි වටය එනවා ප්‍රේක්ෂකයන්ට ප්‍රශ්න අහන්න පුළුවන්. එතැනදි ඔබ මේ ගැන ප්‍රශ්න කළා?ඔව්. මම කිව්වා ඔබතුමා පෞද්ගලික න්‍යාය පත්‍රයන්ට ගිහින් ආචාර ධර්ම ඔබතුමා විසින් ම කඩා ගන්නවා. ඒකට කමක් නෑ. නමුත් ඔබතුමා මෙතනදි වෙනත් වෘත්තිකයෙක් පිළිබඳ කතා කරලා, විවේචනය කරලා ඒ අයට ලොකු අපහාසයක් කළා. ‘ඔබතුමා කිව්වා ‘ජනප්‍රිය, සුපිරි නිළියෝ අද ගණිකා වෘත්තියේ යෙදෙනවා කියලා.’ මම එතුමාගෙන් ඇහුවා අද මේ රටේ මොන යම් හෝ අධිකරණයක් මඟින් සුපිරි, ජනප්‍රිය නිළියක් ගණිකා වෘත්තියේ යෙදිලා කියලා වැරදිකාරියක් බවට පත්කරලා තිබෙනවා ද? එසේ නැත්නම් කුමන හෝ පොලීසියකින් සුපිරි නිළියක් ගණිකා වෘත්තියේ යෙදිලා කියලා අත්අඩංගුවට අරගෙන තියනව ද? කියලා. ඔබේ ප්‍රශ්නයට ඔහුගේ නිසි උත්තරයක් ලැබුණේ නෑ නේද? ඔව්. ඔහු කිව්වා, ඔහු ඒ කරපු ප්‍රකාශය මම වැරදි ලෙස තේරුම් අරන් කියලා. එහෙම ප්‍රශ්න කරපු එකත් හොඳයි වරදක් වුණා නම් ඒක ඔහුට නිවැරදි කරගන්නත් පුළුවන් කියලා කිව්වා. ඒකෙන් අපට ගම්‍ය වෙන්නේ ඔහු වරදක් කළා කියන එකනේ. එයා ඒකේ පැටලිලා, එරිලා, දඟලල එක හුස්මට විනාඩි 5 ක් විතර කතා කරගෙන කතා කරගෙන ගියා. දිගින් දිගටම ඔබට ප්‍රශ්න කරන්න අවස්ථාවක් නොලැබුණේ ඇයි? මට විතරක් නොවෙයි මුළු සභා ගර්භයේ ම හිටපු සියලු දෙනාටම ඔහුගෙන් ප්‍රශ්න ඇසීමේ අවශ්‍යතාව තිබුණා. ඒ නිසා මම ළඟ හිටපු සිරස මයික්‍රෆෝනය බාරව හිටිය නිලධාරිනිය ගෙන් ඉල්ලීමක් කළා. මට කතා කරන්න අවස්ථාවක් දෙන්න කියලා. නමුත් ඇය කිව්වා එක ප්‍රශ්නයයි අහන්න පුළුවන්. ඒකට උත්තර දුන්නට පස්සේ දිගින් දිගටම කතා කරන්න බෑ කියලා. මම කියන්නේ ඒ වගේ සීමා දැම්මම, ඒ වගේ රාමුවක් ඇතුළට අපි කොටු කළාම අරයට කැමැති දේවල් කියලා එයා නිහඬ වෙනවා. ඒක නිවැරදි කරන්න හෝ ඒක පැහැදිලි කරන්න හෝ තවත් ප්‍රශ්නයක් අහන්න ඉඩ දෙන්නේ නෑ. ඒක හරි අසාධාරණයි. ඔහු තම ප්‍රකාශයෙන් වැරදි මතයක් සමාජගත කළාම මේ රටේ ජනතාව, නිළියන්ට ආදරේ කරන ප්‍රේක්ෂකයින් අහන්න ඕන ප්‍රශ්නෙ මම එදා එතනදි ඇහුව. ඒකට ඔහුට කෙළින් උත්තරයක් දී ගන්න බැරි වුණා. ඔහු කිව්වා මේ රටේ ආර්ථිකය හා වෙනත් හේතු මත නිළියන් ඒ තත්ත්වයට පත්වෙලා තිබෙනවා කියලා. නමුත් මම කියන්නේ ආර්ථිකය හෝ මොන යම් හෝ දෙයක් මත මේ රටේ නිළියෝ ගණිකා වෘත්තියේ යෙදෙන්නේ නෑ. ගණිකාවෝ නිළියෝ වෙන්න උත්සාහ කරන්න එනවා. නමුත් මේ රටේ නිළියෝ කියලා අපි සම්මතයේ පිළිගන්නේ අඩු ගාණේ චිත්‍රපට 3 - 4 වගකිව යුතු චරිත නිරූපණය කරලා තිබෙන්න ඕන. එහෙම නැතිනම් එක දිගට විකාශය වන ටෙලි නාට්‍යවල සැලකිය යුතු චරිත නිරූපණය කරලා තියෙන්න ඕන. එහෙම නැතුව ප්‍රධාන නිළිය කඩයට එන දර්ශනයක කඩෙන් සීනි අරන් ගිය එක්කෙනෙයි, පාන්, විස්කෝතු අරන් ගිය එක්කෙනයි කැමරාවට අහු වෙනවා. නමුත් ඒ අය නිළියෝ නොවෙයිනේ. මේ මන්ත්‍රීවරයා තව ලොකු වරදක් කළා. පාර්ලිමේන්තුව විවේචනය කරමින් ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හැටියට ඉන්නවා. ඊළඟ දේ තමයි මෙයත් එක්ක ඉන්න සහෝදර මන්ත්‍රීවරියක් ලංකාවේ සුපිරිම, ජනප්‍රියම නිළිය මාලිනී ෆොන්සේකා. ඇය මන්ත්‍රීවරියක් ලෙස පාර්ලිමේන්තුවේ ඉන්නවා. එතකොට මාලිනී ෆොන්සේකා ගණිකාවක් ද? මෙයා කොහොම ද හෙට දවසේ මාලිනී ෆොන්සේකා මහත්මියත් සමඟ සභා ගර්භයේ ඉඳගන්නේ. දේශපාලන පක්ෂ කෙසේ වෙතත් පාර්ලිමේන්තු උත්තරීතර සභාව නියෝජනය කරන ඔහුගේ සහෝදරියක් ඇය. ඒගොල්ල වාමාංශික ව්‍යාපාර කරන, ජනතාව වෙනුවෙන් හඬ නඟනවා යැයි කියන දේශපාලන පක්ෂ නියෝජනය කරන්නන්. එහෙම කියමින් ඒ අය පරිභව කරන්නේ මේ රටේ ජනතාවට. වෙනත් වෘත්තිකයන්ට. මම විශේෂයෙන් කියන්න ඕන මේ රටේ කලාකරුවෝ කියන්නේ කවුරුවත් කරන්නේ නැති සේවයක් කරන පිරිසක්. බුද්ධාගමෙත් කියලා තිබෙනවා කෙනෙකුගේ හිත සනසන්න පුළුවන්නම් ඒක විශාල පිනක් කියලා. කලාකරුවෝ මේ රටේ ජනතාව කොයිතරම් සතුටට පත් කරනව ද? මගේ ප්‍රකාශය ඇහුවම මෙතුමා හිරවෙලා, පැටලිලා, කලාකරුවෝ උත්තරීතරයි කියලත් එතුමාට කියන්න සිද්ධ වුණා. අවසාන වශයෙන් මේ බරපතළ ප්‍රකාශය වෙනුවෙන් කලාකරුවෙක් වශයෙන් ඔබේ ක්‍රියාමාර්ගය මොන වගේ ද? මගේ සහෝදරියන් මේ වන විටත් මේ ප්‍රකාශය වෙනුවෙන් කලබල වෙලා ඇති. මන්ත්‍රී වරයෙක් විදියට එතුමා එතුමාගේම සහෝදර ස?හෝදරියන් විවේචනය කළාට, ඔවුන්ට අපහාස කළාට අපි එහෙම කරන ජාතියක් නොවෙයි. අපි අපේ සහෝදරත්වය ගෞරවයෙන් රැකගන්න ජාතියක්. අපි අතර නිර්මාණ පිළිබඳ විවිධ අදහස් හා මතවාද තිබුණට මෙවැනි තත්ත්වයකදී අපි අපේ. ඒ නිසා මේ ප්‍රකාශය ඉදිරිපත් කළේ ලංකාවේ ජනප්‍රිය නාළිකාවක ප්‍රසිද්ධ වැඩසටහනක් ඔස්සේයි. මේක ලංකාවේ සියලු නිළියන්ට කළ අපහාසයක්. අද තොරතුරු තාක්ෂණය දියුණුම යුගයක අපි ඉන්නේ. මේක මේ වන විටත් පිටරටවල ඉන්න ශ්‍රී ලාංකිකයෝ, විදේශිකයෝ අතරට ගිහින් ඉවරයි. ඒ නිසා එතුමා මේ ප්‍රකාශය ප්‍රසිද්ධ මාධ්‍ය ඔස්සේ නිවැරදි කරන්න ඕන. සමස්ත ශ්‍රී ලංකාවේ සියලුම නිළියන් ගෙන් එතුමා සමාව ගත යුතුයි.