Thursday, June 27, 2013

නූතන නවකතාව හා ලිංගික වලිප්පුව

මිනිසා තුළ නොහික්මුණු තවත් සත්වයෙක් සිටී. ඔහු දැකීමට මිනිසා ප්‍රසිද්ධියේ කැමති නැත. ඒ සමාජය නැමැති කැඩපතේ පරාවර්තනයක් ලෙස තමා දැකීමට මිනිසාට පුරුදු කර තිබිම සංස්කෘතිය වශයෙන් හඳුනා ගැනීමයි. එය එසේ සකස් කර ගත්තේ නිකම්ම නොවේ. දාර්ශනික, ආගමික, සාමාජික ඈ බහුවිධ කාරණා ඊට පාදක වී ඇත්තේ එසේ නොවන තැන මිනිසෙක් දැකිය නොහැකි බැවින්. නමුත් වර්තමානයේ සිදුවන ඇතැම් සිදුවීම් දකින කල මේ දෙකේ වෙනසක්ද නොපෙනේ. අනාගත පරපුරට තාරුණ්‍යයත් සමගම ඔවුන් තුළ සිටින නොහික්මුණු සත්වයා එළියට ගැනීමට බිහිවන නිර්මාණ කෘති සැබවින්ම ලිංගික වෙළෙඳ භාණ්ඩයන්ය. එනම් නව ලිබරල් පරිභෝජන

වෙළෙඳපළේ භාණ්ඩයන්ය. ඒ වෙළෙඳ භාණ්ඩ නිර්මාපකයන් අපගෙන් ඉතින් දැන් සිදුවන්නෙත් ඒකනේ. ඒක ලිව්වහම මොකදැයි ප්‍රශ්න කළද එයද පුදුමයට කරුණක් නොවේ. ඒ නොහික්මුණු සත්වයාගේ හැසිරීම අපි විකෘති ලිංගිකත්වය ලෙස හඳුන්වමු. නමුත් ලෝකයේම ඒ සඳහා ඇති 16-2නිර්නායකයන් පවතිනුයේ මිනිසාට ලෝකයේ වඩාත් යහපත් තැනක් බවට පත් කරනු පිණිසය. එය ප්‍රකෘති ලෝකයයි.
සාහිත්‍යාංගයක් ලෙස නවකතාව බහුතර සමාජයට සමාජගත වන අංගයකි. එසේම ‍පොත මුල්ම සන්නිවේදන මාධ්‍යයයි. නව කතාව
පිළිබඳව කතා කළ යුත්තේ එය අධ්‍යාපනය හදාරන දරුවන් අතටද පත්වන කෘති බැවිණි. ඒ නිසා අධ්‍යාපන ක්‍ෂේත්‍රයේදී ගුරුවරුන්ට මෙන්ම විශ්වවිද්‍යාල මට්ටමේදී පවා නවකතා අධ්‍යයනය කළ යුත්තේ මීළඟ පරම්පරාව පිළිබඳවද අවධානය යොමු කරමිනි.
ශ්‍රී ලාංකේය අධ්‍යාපන ක්ෂේත්‍රයේදී තවමත් මාර්ටින් වික්‍රමසිංහ වැන්නන්ගේ නවකතාවලින් ඔබ්බට ගිය නවකතා නැත්දැයි ඇතැමුන් ප්‍රශ්න කළද සැබවින්ම ‘‍පොත’ පෞද්ගලිකව ග්‍රාහකයා ග්‍රහණය කරගන්නා මාධ්‍යයක් නිසා එය සමාජගත කරවන ‍ලේඛකයාටද වගකීමක් ඇත. මක්නිසාද යත් ඕනෑම ආකාරයකින් සමාජගත වන ග්‍රන්ථයක් දරුවන්ගේ අතට පත්විය යුත්තේ ඔවුන් වඩාත් යහපත් රසවින්දනයකට යොමු කරවමිනි. මෑතදී පළවූ විවිධ නවකතා දෙස බැලීමේදී ගුරුවරුන් වඩාත් අවදියෙන් සිටිය යුතු වන්නේ ඇතැම් නවකතා ලිංගිකත්වය හුවා දැක්වීමටම ලියැවී ඇති ලිංගික කෘති බැවිණි.
ඒ අනුව නවකතා කීපයක් සංසන්දනය කිරීමේදී ඒවාහි අන්තර්ගතයට කාට කුමක් සඳහා ලියා ඇත්දැයි ප්‍රශ්න පැන නගී. නවකතාවකදී හෝ වෙනත් ඕනෑම කලා කෘතියකින් කතුවරයා කරන්නේ තම (expression) ප්‍රකාශනය සමාජගත කරවීමයි. විටෙක එය ආශ්ලාදජනක වින්දනයකින් හෙබියක් විය හැකිය. විටෙක කිසියම් පණිවුඩයක් දීමක් විය හැකිය. විටෙක යම් කිසි ප්‍රපංචයක් හුවා දක්වනවා විය හැකිය. එහිදී විවිධ සමාජ ස්ථර ඉලක්ක කරගන්නවාද විය හැකිය.
මෑතකදී ලියැවී ඇති කෘති කිහිපයක අන්තර්ගතයන් විමසා බලමු. ‘පිරිමි ගොඩයි - මං විතරයි’ කෘතියේ මුඛ්‍ය තේමාව ගලා යන්නේ ‘ලිංගිකත්වය හා බලය’ යන්න හුවා දැක්වීමටය. කතුවරයා කියන ආකාරයට වෘත්තාන්තයක් නොවූවද ‘රිද්මා’ නොහොත් ‘චුට්ටී’ වටා ගතෛන කතාවේදී ඇය මුල්වරට තම බාප්පා අතින් කෙලෙසේ. පසු කලක ඇය රෑ දවල් දෙකේදී බාප්පා හා තාත්තා සමග යහන්ගත වන බව කියැවේ. එසේම රිද්මාගේ චරිතය කතුවරයා ගොඩනගන්නේ ගැහැනියට උරුම පිරිමි අතින් කෙලෙසීම පමණක්ම බව කියා පෑමටය. ඇය කිසිම තැනෙක ඒවාට විරුද්ධ වන්නේ නැත. එකම එක තැනෙක ‘රාජයියා’ නම් මිනිසකුට පිහියෙන් ඇන යළිත් ළඟාවන්නේ තමා මුලින්ම කෙලෙසූ බාප්පාගේ ඇසුරටමය.
මේ නවකතාවේ 157 පිටුවේ මහලු පූජකවරයකු සමග කෙරෙන විකෘති ලිංගික ගනුදෙනුව, යළි විල්සන් නමැති හැඩිදැඩියකු සමග කෙරෙන ගනුදෙනුව ඉතාමත්ම විකෘති ලිංගිකත්වයන් ඉස්මතු කරවන තැන්ය. කෘතියේ මුඛ්‍යාර්ථයම ලිංගික ක්‍රියාකාරකම් අමුවෙන් කියා පෑමයි. කෘතිය පුරා හමුවන සෙදෝනා හා සුද්දීද වෙසඟනෝය. අවසානයේ නොසිතන ආකාරයට රිද්මාට අවශ්‍ය වන්නේ ඔස්කා සේනානායක නම් මහාචාර්යවරයාගෙන් දරුවෙකි.
සුමිත්‍රා රාහුබද්ධගේ ‘කන්දක් සේමා’ කෘතියේ ‘නූපා’ද මෙබඳු ඛිෙදවාචකයකට ගොදුරු වූ චරිතයකි. නමුත් සුමිත්‍රා ඒ කෙලෙසීම මත තම අනාගතය ගොඩනගා ගැනීමට නූපා ගන්නා වෙහෙස ඉතාම අපූරුවට පෙන්වා ඇත්තේ කිසිදු ලිංගික කාරණාවක් ඉස්මතු නොකරමිනි. ඒ ‍ලේඛනය මත ‍ලේඛිකාවගේ
ශික්ෂණය අපූරුවට දැකගත හැකිය. ‘පිරිමි ගොඩයි - මං විතරයි’ ග්‍රන්ථයේ රිද්මාගේ එක් සිදුවීමක් ‘විල්සන්’ නමැත්තෙකු සමග කෙරෙන විස්තරය සමාන වන්නේ සෙංකොට්ටං හි කැලෑ සතකු බඳු හැඩිදැඩි මිනිසා ‍පොඩිනා රවටා කැලෑවට රැගෙන යාම හා කෙලෙසීමටය. නමුත් සෙංකොට්ටංහි කතුවරයා ඒ සිදුවීමට අපූර්වත්වයක් දී ඇත්තේ ‍ලේඛනයේ ශික්ෂණය හසුරුවා ගැනීමෙනි.
මේ හා සමාන තවත් එක් සිදුවීමක් ‘පරඬැල්’ නවකතාවේ රමණි සහ ලීලාරත්න (කිරිදෙයියා) අතරත් පියැසි කවුළුවේ වින්ටර් සහ ඉසබෙලා අතරත් සිදුවුවාද ඒවා කෘතියට එතරම් හානියක් සිදුකර නැත. එසේම චුම්බන කන්දේ ‍පොඩිසිංහයාට හමුවන අභිගුණ්ඨක ගැහැනියගේ හමුවද එවැන්නක් වුව එයින් මතුවන්නේ මිථ්‍යාව මිස ලිංගිකත්වය නොවේ. “නෙරුදාගේ ලියුංකාරයා” ඉතා කඩිනමින් පරිවර්තනය කළ කෘතියක් බවට පත්වන්නේ එහිදී පරිවර්තකයා මෙරට සමාජ සංස්කෘතික කාරණා පිළිබඳව එතරම් තැකීමක් කොට නැති කමිනි. ඇතැම් පිටුවල දැකිය හැක්කේ ලිංගිකත්වය අමුවෙන් ප්‍රකාශනය කිරීමකි. ඒවා නිර්මාණවලට වඩා ලිංගික උත්තේජක වශයෙන් විකිණෙන භාණ්ඩ බවට පත්වී ඇත. මුල් කෘති වෙනත් සංස්කෘතික තලයක තිබුණද ඒ රටවලට ඒවා එතරම් නුවූවද ‍ලේඛකයකුට මෙරට මීළඟ පරපුර පිළිබඳ වගකීමක් තිබිය යුතුය. සුමිත්‍රා රාහුබද්ධගේ ‘අත අතනෑර’ කෘතිය මෙරට සමාජය එතරම් කතාබහ නොකළේ මේ කාරණාව නිසාය. එය වෙනත් රටක කෘතියක අනුවර්තනයක් පමණක් නොව මෙරට සමාජයට තරමක් පරිබාහිර ජුගුප්සාජනක අවස්ථාද තිබිම එක් හේතුවකි.
නමුත් එහිදී ‍ලේඛිකාව අනවශ්‍ය ලිංගික කරුණු ඉස්මතු කොට නැත. චමිල ලියනගේගේ ‘කොළඹ කළුවර’ කතාව ප්‍රධාන වන්නේම විවිධ ගැහැනු පිරිමි සම්බන්ධතා සමගය. එක් තැනෙක ප්‍රධාන කතා නායිකාව වන නිත්‍යාට ඇගේ මව තමාට විවාහය සඳහා යෝජනා කළේ උමේෂ් නමැත්තා සමග සිටින අවස්ථාවක් මුණගැසේ. නමුත් එය කිසි විටෙක ලිංගිකත්වය ඉස්මතු නොකරන ආකාරයකට ලියැවී තිබිණි. එසේම බත්තලංගුඩුව නවකතාවේ එන ප්‍රධාන කතා නායකයා පියාගේ දෙවන බිරිඳ සමග ඇති කරගන්නා සම්බන්ධතාවයක් නිසා අවසානයේ ඇය ගැබිනියක් වන තැනින් කතාවද නිමාව දකී. නමුත් එය එතරම් ජුගුප්සාජනක ලෙස හුවා දැක්වීමක් දැකගත නොහැකි වූ නමුත් මෙරට සංස්කෘතිය තුළ කුඩම්මා අම්මා තරමටම සැලකෙන්නියකි. ‍ලේඛකයා එහිදී ‘එය එසේම වාර්තා කිරීම’ කෘතියට කරගත් හානියකි.
‘පිරිමි කවුරුද වරදෙ නොබැඳෙන’ කියන නම ඇසූ සැනින් සිතුවේ අර මුලින් කියා ඇති නවකතා දෙක වගේ තවත් ‍පොතක් කියාය. නමුත් එය කියවූ මට ඇති වූයේ මෙවන් අදහසකි.
නවකතාවකට වඩා නාට්‍යානුසාර දෙබස් රැගත් ‘සුද්දෙක් ඔබ අමතයි’ වැනි පිටපතක් වගේය. ඉන් අදහස් කරන්නේ මේ නවකතාව ලඝු කිරීමට නොවේ. නවකතාවේ අග භාගය හා මුල් කොටසේ ඇතැම් සිදුවීම් සමග අපට බැඳෙන කතුවරයා නොමැති නම් අපූරු නූතන කියවීමකි. මේ ‍පොත පිළිබඳව එතරම් කතාබහ නොකළත් ඔහු ඩෙරිඩියානු ප්‍රවේශයේ  (Duality) ද්විත්වය අත්හදා බැලූ බවක් පෙනේ. මේ නවකතාවේ ප්‍රධාන චරිත දෙක වන මම සහ රෝෂිනී යනු සැබෑ ප්‍රකෘති විවාහය තුළ තම අපේක්ෂා ඉටු කර ගැනීමට ගමනක් යන දෙදෙනෙකි. අප සැම කරන්නේද එයයි. විවාහය හුදෙක් අප එළිපිට කතා නොකරන (for Convenience) (අපගේ ඕනෑ එපාකම් සඳහා) යන්න අර්ථ දැක්වීමට ඔහු උදාහරණ සපයයි. සැබෑව එයයි. සමාජයේ චරිත
ගවේෂණයෙන් ලබාගත් අනුභූතීන් තම දෘෂ්ටිමය ඉලක්කයක් කරා අවසාන කොටසේදී කතුවරයා නවකතාවට බසී. එය ‘සුද්දෙක් ඔබ අමතයි’ වන්නේ එතැන් සිටය. ඒ අප දන්නා ‍ලේඛකයා බැවිණි. කතුවරයාගේ පෞද්ගලික අනුභූතීන් ‍පොදු බවට පත් කරගන්නා ශූර හැකියාවක් ඔහුගේ ‍ලේඛනයේ මුල් කොටසේ ඇත. මෙය මෑතකදී කියවූ ‍පොත් අතරින් වඩාත් රමණීය බස්වහරකින් පාඨකයාගේ කියැවීමේ රුචිය ඇති කළ ග්‍රන්ථයකි. භාෂාවේ රිද්මය, ලාලිත්‍යය, භාවික ගුණය, ඖචිත්‍යය, අතින් කතුවරයා බත්තලගුණ්ඩුවේ වෙඩිවර්ධන, රිදී තිරංගනාවී සුනේත්‍රා අත අතනෑර සුමිත්‍රා යන තිදෙනා තම නිර්මාණ ඔස්සේ යොදාගත් රමණීය බස් වහරට නවතම එක්වීම චින්තක රණසිංහය. ඔහුගේ උපමා, උපමේය, රූපක මෙන්ම උපහාසාත්මක සමාජ දෘෂ්ටිය ඒ කියැවීම තුළ මොනවට සිතුවම් කරයි.
මෑතකදී පළවූ ‘මාගම් සෝලිය’ පිළිබඳව නොකියාම බැරිය. එය කතුවරයාගේ ‘බෝදිලිමා’ කෙටි කතාව මෙන් ලියවුණක් නොවේ. පසුගිය වසර කීපය තුළ ලියවුණු ආකර්ශනීය කවරයකින් යුත් විකෘතිකාමය අතිශයින් ඉස්මතු වූ නවකතාව ලෙස මෙය හැඳින්විය හැකිය. එය යථාර්ථවාදී නවකතාවක්ද නොවේ. ඉතිහාස කතාවක්ද නොවේ. ඒ පිළිබඳව විවිධාකාර පුද්ගලයින්ගේ ප්‍රකාශ දෙවන තෙවන මුද්‍රණයක් සමග පළ වී තිබේ. ඒවා සියල්ලම පුරුෂ දෘෂ්ටිවාදයෙන්ම දක්වා ඇති අදහස්ය. ඇතැමෙක් කියා ඇත්තේ ‘අභියෝග කළ නොහැකි අභව්‍ය යැයි කිව නොහැකි දේවල් එහි අඩංගු වී ඇති බවයි’  ඇත්තය. ඒ මිනිසා තුළ සිටින නොහික්මුණු සත්වයාය. කන්‍යාවියක් දරුවකු වැදීම ආදිය ගත් කළ මැජික් රියලිසම් ගණයට වැටෙනවා යැයි කිසිවකු කීවද මෙය ආරම්භ වන්නේ ඌව වෙල්ලස්සේ සැබෑ පන්සලක් ආශ්‍රිතවය. යථාර්ථවාදී රීතියකිනි. එයින් කතුවරයා තම පර්යේෂණ හැකියාව හා ‍ලේඛන හැකියාවේ ව්‍යාජය පෙන්වයි.16-1
මේ කතාවේ රාජසිංහ රජුගේ කාලය, වසූරියෙන් මියයන මිනිසුන් ඒ යුගයේ කතාබහ කරන වාග් විලාසය අනුව එක්තරා ඓතිහාසික යුගයක් නියෝජනය කරයි. එසේම එවක පවුල් සබඳතා ඒවා බෙදී යන ආකාරය හා ලිංගික සම්බන්ධතා යන කාරණාවලට ප්‍රමුඛත්වයක් දී තිබේ. අතිශය මිථ්‍යාමතවලින් පිරී ඇත. සාමාන්‍යයෙන් කෙනෙකු මියගිය පසු ඒ තැනැත්තා හෝ තැනැත්තී තවත් ජීවත්වන කෙනෙකුට වැහෙනවා යැයි යන්න වෙනස් කොට ජීවත් වන අම්මා (ගෝමරී) තම දියණිය වන වල්ලිට වැහේ. එහි අප්‍රියකරම කොටස වන්නේ 245 පිටුවේ එන ජවනිකාවයි. වල්ලිට ගෝමරී වැසී ඇති බවත් ‍පොඩි නිලමේට කඩවර දෙයියෝ වැසී ඇති නිසාත් ඔවුන් කරන්නේ එකිනෙකාට යටත් නොවීමට ලිංගිකව හැසිරීමයි. එය කුමාර ලියනගේ කියන පරිදි ලිංගික වලිප්පුවයි. එපමණක් නොව ‍පොත පුරාම එන මිථ්‍යාව හා ගෝත්‍රික
අශිෂ්ටාචාර ක්‍රම මෙන්ම සමාජයේ මූලික ගෝත්‍රික සමාජවල තිබූ ප්‍රාථමික විශ්වාස හා ප්‍රාථමික ජීවන ක්‍රම යන්ත්‍රයක් මෙන් ජපකරමින් කෙරෙන කතුවරයාගේ ප්‍රකාශනය යනු කුමක්දැයි ප්‍රශ්නයකි. පාසල් පුස්තකාලවලට දැමීමට පෙර මෙවැනි නවකතා ‍පොත් ගුරුවරුන් කියවා සිටියොත් වඩාත් හොඳය. ඒ අතින් ඩීමන් ආනන්ද ශ්‍රේෂ්ඨය.
මාගම්සෝලිය ලියන කතුවරයා කියා ඇත්තේ ‘මාගේ කාර්යය ඉවරයි. විවේචන විචාර පාඨකයාට බාරයි’ යනුවෙනි. එය ඉතාම හොඳය. කතුවරයා අප හිතවතෙකි. එසේම ඔහුට විචාරයක්, විවේචනයක් බාර ගැනීමට නොහැකි නම් ඔහුගේ ‍ලේඛනයේ ඇති ඵලක්ද නැත. ලෝකයේ මුල්ම නිල් ‍පොත (Blue book) ලෙස අප දන්නේ Fanny hill නව කතාවයි. එහෙත් එසේම කිසිම දෙමව්පියකු තම දරුවාට නිල් චිත්‍රපටයක් බලන්නට ගෙනැවිත් දෙන්නේ නැත. (මෑතකදී එක්තරා පියකු තම දියණියන් තිදෙනාට නිල් චිත්‍රපටයක් පෙන්වූ පුවතක් ද වාර්තා විය) ලෝකයේ තවත් කතාබහට ලක්වූ එමා බොවාරි, ‍ලේඩි චැටර්ලිස් ලවර් වෙනත් රටවල නඩු හබවලට වැටුණේ සමාජ සාරධර්ම පදනම් කරගෙනය. බටහිර ලෝකයේ ටෝනි මොරිසන්ගේ ‘පැරඩයිස්’ නවකතාව චිත්‍රපටයට නැගීමේදී එහි ප්‍රධාන චරිතය රඟපෑවේ ඔප්රා වින්ෆ්‍රීය. නමුත් එය ලාංකේය සමාජය වැළඳගත්තේ හෝ ඒ පිළිබඳ දන්නේවත් නැත. එසේම ශ්‍රී ලාංකේය රචකයකුගේ ‘විරාගය’ වෙනත් රටකට එතරම් වටිනාකමක් නැතත් මෙරටට මහත් වටිනාකමක් ඇති ග්‍රන්ථයකි. ‍පොතපත පමණක් නොව කවිය, කවි කොළය පැවැති යුගයේ සොක්‍රටීස්ට වඩා ප්ලෝටෝ සදාචාරය පිළිබඳ සැලකිලිමත් වූයේ ඊළඟ පරපුර පිළිබඳව තිබූ හෘදයාංගම බව නිසාවෙනි. ඔවුන්ගේ ආචාරධර්ම හා දාර්ශනික මතවාදවලට පටහැනිව ‘එපිකිය්‍යුරස්’ වැන්නවුන් අදට වලංගු ජීවිතය යනු සුඛ විහරණය පමණක්ම බව මතු කරන ලදී. මේවාහි ඓතිහාසික අවසාන යුගයේ නූතනවාදය සමග පැමිණි පශ්චාත් නූතනවාදය ඉස්මතු වූයේ සංස්කෘතිය විසින් සාරධර්ම ලෙසින් යටපත් කොට ඇති මිනිස් ස්වභාවයන් සංස්කෘතික කඩතුරා ඉරා දමමින් කතා කිරීමයි. ඒවා කලා නිර්මාණ ලෙසින් මතුවන විට චිත්‍රපට, කවියට, සිනමාවට මෙන්ම නවකතාවටද එකසේ බලපෑවේය. මානව ස්වභාවයන් කතා කිරීම ලෝකයේ විවිධ මාධ්‍ය ඔස්සේ එක් එක් ආකාරයන්ට සිදුවීමත් සමග ශ්‍රී ලාංකේය කවිය, කෙටි කතාව, නවකතාව පමණක් නොව ‍පෝස්ටරය පවා ඒවාට හසුවිය. ඒ එක් මාධ්‍යයකටවත් නොදවෛනිව පාර වරද්දා ගනිමින් යොදාගත්තේ නව කතාවයි. ඒ බවට හොඳම උදාහරණය ‘මාගම් සෝලියයි’. මාගම්සෝලිය පිළිබඳව විචාරක ඇසින් අදහස් දක්වා ඇති සියල්ලන්ම පිරිමිය. මටද මෙහිදී කිව හැක්කේ ‘පිරිමි ගොඩයි මං විතරයි’ කියාය.
මෙය පෞද්ගලික කාරණයක් නොවේ. පශ්චාත් නූතනවාදය හා මැජිකල් රියලිසම් නොකියවා කියන කාරණාවක්ද නොවේ. මැජිකල් රියලිසම් අපි කියවූයේ ගමරාල දිව්‍ය ලෝකයේ ගිය කතාන්තරයේ පටන්ය. නවකතාවක් කියවා රස විඳීමේ නොහැකියාව නිසාද නොවේ. නවකතා පිළිබඳව යමක් කිව හැකි එකම කාන්තාව නිසාද නොවේ. හුදු සුචරිතවාදය කරපින්නා ගැනීමක්ද නොවේ. මිනිසා තුළ සිටින අභ්‍යන්තර සත්වයා කලා කෘතියක් වන නවකතාවෙන් එළියට ඇද දමන්නේ ඇයිදැයි යන ප්‍රශ්නය මට ඇති බැවිණි.
ලෝකයේ ‍පොලිස්කාරයා ලෙස හැඳින්වෙන ඇමෙරිකාව අප විශ්වාස කරන්නේ නිදහස අපරිමිතව භුක්තිවිඳින ජනතාවක් ඇති රටක් ලෙසය. මාධ්‍ය සඳහා ආචාරධර්ම හෝ සමාජ සදාචාරයත් නොමැති රටක් ලෙසය. නමුත් ශ්‍රී ලාංකේය
ළමා පරපුරට නිවැරදි අවබෝධයක් ලබාදීමට අ‍පොහොසත් වැඩිහිටියන් නිහඬව සිටියදී මායාව හා මිථ්‍යාව පුරවාගත් ‘හැරී‍පෝටර්’ ‍පොත් පෙළ කියවද්දී ඇමෙරිකාවේ තහනම් ‍පොත් ලැයිස්තුවේ මුලින්ම තිබෙන්නේ හැරී‍පෝටර්ය. ඒ ළමා පරපුර මිථ්‍යාව හා ගුප්ත බව ඔස්සේ මනෝ විකාර ලෝකවලට හුරුවීම වැළැක්වීමටය. අප වසරක් පාසා දරුවන්ට ඥාන දායාදය කරන්නන් හැටියට දරුපරපුර පිළිබඳ හැඟීමක් ‘මට මගේ ජනතාව පිළිබඳ කැක්කුමක් ඇතිවා’ යැයි පබ්ලිස් සිල්වා මහතා කියන ආකාරයට මටද මෙරට දරුවන් පිළිබඳ කැක්කුමක් ඇත.
එ නිසා පාසල් ගුරුවර ගුරුවරියෙනි, ඔබේ පාස‍ලේ දරුවන් සඳහා මෙවැනි ලිංගික වලිප්පු රැගත් ‍පොත් පුස්තකාලවලින් බැහැර කරන්නට ඔබටවත් අඩු තරමින් දායක වීමට හැකි නම් ඔබ රට වෙනුවෙන් කළ මෙහෙවරක් වනු ඇත.
අපට ලිංගික භාණ්ඩ විකිණීම නැවැත්විය නොහැකිය. එය නවලිබරල් පරිභෝජන ලෝකයේ මහා පරිමාණ ව්‍යාපාර වේ. ඒ නිසා අපට කුඩා පරිමාණයෙන් කළ හැක්කේ විකෘතිකාමය (සංස්කෘතිය විසින් යටත් කොට ඇති ස්වභාවය) ඉස්මතුකොට තරුණ දරුවන් විකෘති ලෝකවලට ඇද වැටීම වැළැක්වීමය. මෙය නව්‍යවාදය නියමාකාරයෙන් යොදා ගැනීම නොවේ. එය කළ යුත්තේ සංස්කෘතිය ප්‍රශ්න කිරීමෙනි.
මේ කතා කරන අප සියල්ලෝම වීතාරාගී වූවෝ නොවෙති. ලිංගිකත්වය මානව අවශ්‍යතාවයක් වුවත් එය එකම අවශ්‍යතාවයද නොවන්නේය. ‘මාගම් සෝලිය’ ඇගේ වෛරය 4 වැන්නක් සඳහා ලියැවුණු සිනමා පිටපතක් වැන්නකි.
බත්තලගුණ්ඩුව හා ‘නයිගලින් උපන් පුත්‍රයෝ’ වැනි මිථ්‍යාව හා සංස්කෘතිය ඉරා දැමූ කෘතිවලට රාජ්‍ය සාහිත්‍ය සම්මාන හිමිවූයේ නම් ‘මාගම් සෝලියට’ද හිමි නොවීමට ඉඩක් තිබිය නොහැකිය. මෙහි අවසාන ඵලය නම් තම දියණිය
දූෂණය කරන පියාට හුරේ තියන නැතහොත් ‍පෝරුවේදී විවාහයේ ලිංගික ක්‍රියාව පැවැත්වීමට බල කරන පරපුරක් බිහිවීමය.
අක්ෂරයට තහනමක් වැටුණේ එවැනි කෘතියක් නිසා නම් මෙවැනි ග්‍රන්ථවලට වෙළෙඳපළ විවෘතය. තීරණය සමාජයට බාරය.
අප රටේ බහුතර සමාජය පිළිගන්නා වීරයන් කොටස් දෙකකි. ඔවුන් වීරත්වයට පත්කොට ඇත්තේ මාධ්‍ය විසිනි. එක් වීරයෙක් නම් පවතින රජයකට විරුද්ධව කතා කරන වීරයාය. අනෙකා සමාජයේ ප්‍රසිද්ධියේ කතා නොකරන දේ අමු අමුවෙන් නිර්මාණයක් ඔස්සේ සමාජගත කරන වීරයාය. මේ නවකතාවලින් ඉස්මතු වන වර්තමාන වීරයා ලිංගික වලිප්පුව හැදුණු වීරයාය.

මහාචාර්ය
අජන්තා හපුආරච්චි
කොළඹ විශ්වවිද්‍යාලය Copylakbima