Saturday, August 31, 2013

►► දියණියන්ට දෑවැද්ද සොයන්න සති අන්තයේ කොළඹ හිඟාකෑ ආණ්ඩුවේ ලිපිකරුවා►►



කලෙකට ඉහත දිනයක එංගලන්තයේ එක්තරා නගරයක වාසය කළ ධනපති පවුලක කාන්තාවක් වෙත විදුලි පණිවුඩයක් ලැබිණි. ඉන් කියවුණේ විදෙස් ගතව සිටින සිය සොහොයුරෙකු විසින් නැව් මගින් එවන ලද භාණ්ඩයක් අදාළ ගුදම වෙත පැමිණ බාර ගන්නා ලෙසය. ෙදෙනිකව සිදුවන පරිදි මේ මොහොතේ ඇගේ සැමියා සිය ව්‍යාපාරික කටයුතු සඳහා පිටත්ව ගොස් සිටි බැවින් කුලී රථයක් ගෙන්වා ගත් ඇය පෙර කී ස්ථානය බලා පිටත්ව ගියාය. ඇය මීට ප්‍රථම ගමන්කර නොතිබූ මෙම නැව්තොට ආශ්‍රිත ප්‍රදේශය රළු හඩින් කෑගසන මිනිසුන්ගෙන් සහ කම්කරුවන් ආදීන්ගෙන් ජනාකීර්ණව තිබිණි. කෙසේ වෙතත් අදාළ ස්ථානයට යන මාවතෙහි වූ තදබදයක් හේතුකොට ගෙන කුලී රථය නැවතුණ අතර ඉන් බැස ඉතිරි දුර පයින් යන්නට ඇය තීරණය කළාය.

ඒ අනුව රියෙන් බට ඇය හාත්පස සිසාරා නෙත් හෙළනු ලැබුවේ අදාළ ස්ථානය ගැන අවබෝධයක් ලබා ගනු රිසියෙනි.

නමුත් තවත් තත්පර ගණනක කාලයක් තුළ ඇය දුටුවේ අනපේක්ෂිත දසුනකි. එනම් මංපෙතේ තමාට වම්පසින් වූ අපිරිසිදු ගොඩනැගිල්ලක ඒ ඉහළ මාලයේ ජනේලයක් අසල සිටගෙන සිටින තම සැමියාය. ඔහු මෙවැනි තැනකදී දක්නට ලැබිම තමාව කම්පනයට පත්කරනු ලැබුවාක් මෙන් ඔහුද සිය බිරිඳගේ අනපේක්ෂිත දර්ශනය හේතු කොටගෙන දැඩි විමතියකට සහ නොසන්සුන්තාවයකට ලක්වූ බවක් පෙනෙන්නට තිබිණි. ඉක්බිති ඔහු නිරන්තර පුරුද්දකින් සිදු කරන දෙයක් පරිද්දෙන් ඇයට අත වැනූ නමුත් එක් වරම පියවි සිහිය ලැබූ අයෙකු පරිදි ජනේලය අසලින් අතුරුදහන් වූවේය.

මේ අනපේක්ෂිත හමුව හේතුකොටගෙන මහත් පුදුමයකට පත් වූ කාන්තාව සිය ගමන අමතක කොට තම සැමියාව දුටු ගොඩනැගිල්‍ලේ පඩිපෙළ දිගේ ඉහළට නගින්නට තැන් කළාය. එහෙත් රළු පෙනුමක් සහිත චණ්ඩි පහේ පුද්ගලයෙකු විසින් ඇයව නවත්වනු ලැබිණි. අවසානයේ ‍පොලිස් භටයින් කීප දෙනෙකු සමග ඒ ස්ථානය පරීක්ෂා කළද ඇයට තම සැමියා සොයාගත නොහැකි විය. ඒ වෙනුවට එතැන සිටියේ ‍පොලිස් නිලධාරීන් පවා නිරන්තර දැක පුරුදු විරූපී මුහුණක් සහිත හිඟන්නෙකු පමණි.

එම හිඟන්නා මෙන්ම එතැන සිටි අනෙක් දෙතුන් දෙනාද පැවසුවේ එවැනි අයෙකු මෙහි නොසිටි බවය. නමුත් ඒ ස්ථානයේ සිට හමුවූ පෙර කී කාන්තාවගේ සැමියාට අයත් භාණ්ඩ කීපයක් නිසා සිඟන්නා සිර බාරයට පත්වෙයි.

මේ අතර සිය සැමියා දින කීපයක් ගෙදර නොපැමිණීම නිසා ඒ ගැන පරීක්ෂණ මෙහෙයවන ‍පොලිස් පරීක්ෂකයාට අවසානයේ සොයා ගැනීමට ලැබෙන්නේ ව්‍යාපාරිකයෙකු බව හඟවා ඉතා ධනවත් මට්ටමෙන් ජීවත්වන ඇයගේ සැමියා වූ කලී අන් කවුරුවත් නොව මෙම විරූපී මිනිසෙකු ලෙස වෙස්වලා ගත් මෙම හිඟන්නා බවය.

ලොව අංක එකේ රහස් පරීක්ෂක නවකතාකරු සර් ආතර් කොනන් ඩොයිල්ගේ කතාවක එන ඉහත සඳහන් සිද්ධිය හුදු ප්‍රබන්ධයක් පමණක් නමුදු අපේ ශ්‍රී ලංකාවේ සැබෑ සමාජය තුළ ප්‍රබන්ධයට වඩා විස්මිත ලෙස එවැනි දේ සිදුවේ.

කලකට ඉහත ‍පොළොන්නරුව නගරයේ සිට තරමක් ඈතට වන්නට ජීවත්වූ රාජ්‍ය සේවයේ නියුතු ලිපිකරුවෙක් විය. තමාට ලැබෙන වැටුප කෑම ඇඳීම ඇතුළු එදිනෙදා අවශ්‍යතා සපුරා ගැනීමට ප්‍රමාණවත් වුවද ඔහුගේ මූලික බලා‍පොරොත්තුව වූ ලොකු ගෙයක් තනා ගැනීමේ සිහිනයට අලගු තබන්නටවත් ප්‍රමාණවත් නොවීය. මෙම ගෙයක් තනා ගැනීමේ සිහිනය හා බැඳුණු තවත් සුවිශේෂ කාරණාවක් ද විය. එය නම් ඒ වන විට පාසල් අධ්‍යාපනය හමාර කර සිටි තම තරුණ දියණියන් දෙදෙනා විවාහ කර දීමේ අභියෝගයට මුහුණ දී සිටීමයි.

එය ඔහුට අභියෝගයක්ම වීමටද කාරණා තිබිණි. ඉන් පළමුවැන්න නම් ඔහුගේ දියණියන් දෙදෙනාම සා.පෙළ ලිවීමෙන් පසුව රැකියාවක්ද නොලැබ ගෙදර නැවතී සිටීමය. ඊළඟ කරුණ වූවේ ඔවුන් දෙදෙනාම එතරම් ආකර්ෂණිය රූ සපුවකින්ද යුතු නොවීමය. මේ හැරුණු කළ වැඩිමහල් දියණිය යම් පමණක මන්ද මානසික ස්වභාවයකින් යුතු වීම ද ඔහුගේ ජීවන ගැටලුව තවදුරටත් සංකීර්ණ තත්ත්වයට පත් කරවනු ලැබිණි.

මේ සියල්ලටම විසඳුම ලෙස ඔහුට පෙනී ගියේ ලොකු දෑවැද්දක් තිබේ නම් දියණියන්ගේ කටයුතු කෙසේ හෝ ඉවරයක් කර ගත හැකි බවය. අනෙක් කාරණය පෙනුමට ගෙයක් දොරක් තිබේනම් කාරණය වඩාත් පහසු විය හැකි බවය.

ඒ සඳහා කළ යුතු බොහෝ දේ ගැන ඔහු නිරන්තරව කල්පනා කළේය. ඒ හැම දේටම විශාල ප්‍රාග්ධනයක්ද, කාලයක්ද සියල්ලටම වඩා වාසනාවද අවශ්‍ය බව ඔහු අවබෝධ කර ගත්තේය. ඒ නිසා එවැනි සැලසුම් සියල්ල ඔහු ඉවත දැම්මේය.

තවත් මාස හත අටක් ගතවිය. ගෙදර බිරිඳද අසල්වාසීින්ද පුදුමයට පත් කරමින් ඔහු හොඳ ගෙයක් සඳහා අත්තිවාරම් දැම්මේය. ඉක්බිති හෙමින් හෙමින් වුවද දින සති මාස ගතවෙමින් ගෙය ගොඩනැගෙන්නට වූවේය. අනතුරුව අවුරුදු තුනයි මාස කීපයක් ඇතුළත පූර්ණ වශයෙන් ගෙයි වැඩ නිම කෙරුණු අතර තවත් අවුරුදු තුන හමාරක් ඇතුළත සිය දියණියන් දෙදෙනාම විවාහ කර දීමටද හැකි විය. ඔහු සිය ලිපිකරු දිවියෙන් විශ්‍රාම ගියේ හොඳ ගෙයක්, ගොවිතැන් කටයුතු සඳහා කුලියට දෙන ට්‍රැක්ටරයක් සහ තම අරමුණු ඉටුකර ගැනීම ගැන හිතේ සතුටක්ද සහිතවය.

මානසිකව මෙන්ම ආර්ථිකවද හෙම්බත් වී සිටි ලිපිකරුවා මේසා ප්‍රාතිහාර්යයක් සිදු කළේ කෙසේද?

ඒ කතාව පටන් ගන්නේ එක් සිකුරාදා දිනක ඔහු ‍පොළොන්නරුවේ සිට කොළඹට පැමිණි ගමනකිනි.

කොළඹ ගෙන්දගම් ‍පොළොව පෑගූ ඔහු කෙළින්ම ගියේ මට්ටක්කුලියේ ජීවත් වන ඔහු දන්නා කියන පැරණි මිතුරෙකු හමුවන පිණිසය.

ලිපිකාර සේවයේ සමකාලීනයෙකු නොවූවද රැකියාවේ ආරම්භක අවධියේ ඔහු මේ පුද්ගලයා අඳුනාගෙන තිබුණා පමණක්ද නොව ඔවුන් අතර දැඩි මිත්‍රත්වයක්ද ගොඩනැගී තිබුණි. එකල මොරිස් මයිනර් ටැක්සියක් පැද වූ ඔහු වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම ටැක්සිකාරයෙකු විය. එනම් ඕනෑම දෙයකට ඔට්ටු හිත හොඳ මිනිසෙකු විය. කෙලෙහිගුණ දන්නා මිනිසෙකු ද වූ ඔහු මෙම ලිපිකරුවා හා මෙතරම් බැඳීමක් ඇතිකරගෙන ඇත්තේ ඔහුගේ දරුවෙකු අසාධ්‍ය තත්ත්වයක පසුවෙද්දී දන්නා කියන වෛද්‍යවරයකුට යොමුකර දිවි බේරාදීම නිසාය.

ඉතින් මේ කියන සිකුරාදා දිනයේදී ලිපිකරු මහතා ඔහු හා තම මුදල් ප්‍රශ්න ගැන කතා කිරීමේදී පවසා ඇත්තේ “එහෙම සල්ලි හොයන්න නම් ඉතින් කරන්න තියෙන්නෙ හිඟාකන එක තමයි. මොකද අද ‍පොලියට සල්ලි දෙන හිඟන්නොත් ඉන්නවා. මමත් හදිස්සියට සල්ලි අරගෙන තියෙනවා” යනුවෙනි. එහෙත් තම ලිපිකරු මිතුරා කිසිසේත්ම එවැනි වැඩකට යොමු වේ යැයි ඔහු සිහිනෙකින්වත් නොසිතන්නට ඇත.

නමුත් ලිපිකරු මහතා ඉතා තීරණාත්මකව ඔහුට පැවැසුවේ “එක්කෝ තමා සියදිවි නසාගත යුතුයි නැතිනම් හිඟාකෑමෙන් හෝ මුදල් උපයා ගත යුතුයි කියාය.

ඒ අනුව යම් යම් වාද විවාද අවසානයේ ටැක්සි රියැදුරා එයට කැමති විය. මිතුරාට කළ හැකි හොඳම උපකාරය ලෙස හිඟන වෙස් ගැනීමට ස්ථානයකුත්, විශ්වාසය රැකියාවේ ප්‍රතිඥාවත් සමග කොච්චිකඩේ පල්ලිය ඇතුළුව හිඟමනේ යෙදී සිටියදී ආරක්ෂාව සැපයීමත් බාර ගන්නා ලදී.

‍පොළොන්නරුවේ ලිපිකරු මහතා හිඟමනට වැටුණේ ඒ ආකාරයෙනි. එහිදී ඔහු විසින් අනුගමනය කළ උපක්‍රම මොනවාදැයි කියන්නට අපි නොදනිමු.

එහෙත් ඔහු ඉතා කෙටි කලකින් තම යාචක වෘත්තීයේ මනා නිපුණතාවයක් ලබාගත් බව පමණක් නොව මිතුරු ටැක්සි රියැදුරා හරහා මුදල් ‍පොලියට දුන් බවද ඉතා පැහැදිලිව දනිමු.

මා අසා දැනගත් පරිදි ඔහු වැඩි ලාභයක් ලබාගෙන ඇත්තේ සුළු පරිමාණ වෙළෙඳුන්ට මුදල් දී හවසට ‍පොලියත් සමග ලබා ගැනීමෙනි.

මේ නිසා තම මිතුරා හිඟමනට යොමුවීම ගැන ටැක්සි රියැදුරා මුලදී අකමැත්තක් දැක්වූවද පසුව අනේ‍යාන්‍ය සහයෝගය මත එකිනෙකා දියුණුවීමත් සමග එය අකාමකා විය. නගරයේ පහළ මට්ටමේ විවිධ ස්ථරයෙන් ඇසුරු කරන රියැදුරාට යාචකයෙකු යනු පහත් මිනිසෙකු ලෙස පෙනුණේද නැත.

ලිපිකරුවා යාචක දිවියෙන් සාර්ථකත්වයක් ලැබූවද මෙම ලියුම්කරුගේ අදහස නම් පසුකාලීනව ඔහු යාචක වෘත්තිය නිල වශයෙන් තබා ගනිමින් ඉතා සාර්ථකව මෙම ‍පොලී ව්‍යාපාරය පවත්වාගෙන ගොස් ඇති බවය. පසුකාලීනව ඔහුගෙන් ‍පොලියට මුදල් ලබාගත් අය අතර නගරයේ බාබර් සාප්පු හිමියන්, කුඩා තේ කඩ හා කුඩා සාප්පු ව්‍යාපාරිකයින් හා පේමන්ට් වෙළෙඳුන්ද වූ බව පැවැසේ. කොටින්ම මාහට මෙම තොරතුරු සපයා දීමට මුල් වූ ලියනෝරිස් මුදලාලි මහතාද තමාගේ ආරම්භක අවධියේ ඔහුගෙන් මුදල් ‍පොලියට ගත් බව මා සමග පැවැසීය.

ලිපිකරුවාගේ මෙම ජීවන රටාව හෝ ඔහුගේ තත්ත්වය පිළිබඳව විවිධ කට කතා පැතිරුණද ඔහු හිඟා කා මුදල් ඉපයූ බව කිසිවෙකුට ආරංචි වූ බවක් නොදනිමු. සමහර විටක එසේ ආරංචි වුවද හිඟාකෑමෙන් මෙතරම් ධනයක් උපයා ගත හැකි යැයි ‍පොළොන්නරුවේ එකල ගැමියෝ කිසිසේත් විශ්වාස කරන්නටද නැත.

නමුත් මේ සියල්ලටම වඩා මෙහි ඇති විශේෂත්වය වන්නේ තමන්ගේ අරමුණු ඉටුවූවායින් පසු ලිපිකරු මහතා ඒ සියල්ල සැනෙකින් නවතා දමා සන්සුන් විශ්‍රාම දිවිපවෛතට සම්ප්‍රාප්ත වීමය.

මෙම සිදුවීමට පසුබිම් වන්නේ මීට වසර 25කට පමණ එහායින් වූ කාල පරිච්ජේදයකි.

ඒ අනුව දැන් වනවිට අන් සියල්ල මෙන්ම යාචක වෘත්තියේද යම් යම් වෙනස්කම් සිදුවී තිබේ.

කෙසේ වුවත් කොළඹ නගරය තුළ හිඟන්නන් මෙන් ජීවත්වන්නවුන්ට අමතරව පිටපළාත්වල සිට ෙදෙනිකව කොළඹට පැමිණ හිඟන වෙස් ගෙන හිඟා කා ආපසු ගම්රටවලට යන අඹුසැමි ජෝඩුද සිටින බව අනාවරණය වෙයි. මෙසේ උදයෙන්ම කොළඹට පැමිණෙන ඔවුන් හිඟන වෙස් ගනුලබන්නේ කොළඹ විහාරමහාදේවී උද්‍යානයේදී යැයි ප්‍රවීණ මාධ්‍යවේදියෙකු වූ චන්ද්‍රභානු සමරවීර මහතා මා සමග පැවසීය.

ඒ වාගේම ඔහු පැවසූ තවත් අපූරු කතාවක් වූවේ මීට අවුරුදු 10 - 15ට පෙර කොළඹ ජාතික රෝහ‍ලේදී මිය ගිය හිඟන්නකු පිළිබඳව පැවැත්වූ මරණ පරීක්ෂණයකදී ඔහු මියගොස් තිබුණේ බඩගින්නෙන් යැයි හෙළිදරව් වූ බවය. නමුත් ඒ හිඟන්නාට අයිති ඔලගුවේ රුපියල් 30,000කට අධික මුදලක් වෛද්‍යවරුන්ට සොයා ගත හැකිව තිබේ.

ඒ වගේම තවත් දවසක මා මිත්‍ර චන්ද්‍රභානු සමරවීර මහතා හිඟන්නෙකුට මුදලක් දීමට තැත් කරද්දී තවත් අයෙකු ඔහුව වළකා ඇත්තේ “ඔය යකාට සල්ලි දෙන්න එපා, බොරුවට හිඟාකන්නෙ. මේ වෙනකොටත් මිනිහගෙ ත්‍රීවිල් දෙකක් පාරේ දුවනවා” යැයි කියමිනි. මා මිත්‍රයා ඒ කියමනෙහි සත්‍ය අසත්‍යභාවය සොයාබලා ඇති අතර ත්‍රීවිල් දෙක පමණක් නොව ඔහු සතුව මෝටර් සයිකලයක්ද ඇති බව දැනගෙන තිබේ. මේ හැර ඔහු මට කියූ තවත් කතාවක් වූවේ හිඟන්නන් අතර ඉතා කෙටි කාලයක් සහ කෙටි දුරක් තුළ ලොකු මුදලක් උපයා ගැනීමේ දක්ෂයින් සිටින බවයි. ඔහු පවසන පරිදි දහවල් 10න් පසු ටවුන් හෝල්වලින් 138 ට නගින කාන්තාවක් දෙල්කඳින් බසින්නේ හිඟමනින් ලැබුණු සල්ලි කොළ තොගයක්ද සමගය.

ඒ වාගේම බොරැල්ල හන්දියේ සිටින එක් හිඟන්නෙකු රාත්‍රී ආහාරයට පෙර අනිවාර්යයෙන්ම බියර් බෝතලයක් පානය කරයි. මේ හැර ඔහු ගැන වැඩියමක් දැනගත නොහැක්කේ ඔහු ඇත්තම ගොළුවෙක්ද වන හෙයිනි.

මේ හැරුණු කල හිඟන මිනිසුන් ගැහැනුන් පමණක් නොව ඔවුන් ගේ දරුවන්ගේ සුබ සාධනය ගැන කටයුතු කරන නිලංකා ජයසූරිය පැවසුවේ ඔවුන් යටතේ සිප් සතර හදාරා ලොකු මහත්වූ වීදි දරුවකුගේ දරුවා දැන් ඉගෙන ගන්නේ ජාත්‍යන්තර පාසලක බවයි.

මේ වන විට වර්ල්ඩ් විෂන් ආයතනයෙහි සම්බන්ධීකරණ නිලධාරිනියක ලෙස කටයුතු කරන නිලංකා තවදුරටත් පවසන්නේ එක් පැත්තකින් අප මවිතයට පත්කරවන සුළු මෙවැනි කතා අසන්නට ලැබුණද මානුෂික ගැටලු නිසා ඇතිවන ප්‍රශ්නවලදී අපත් ඔවුනුත් අතර වෙනසක් නැති බවය. ඒ අන්කිසිවක් නිසා නොව යාචකයෝද මනුෂ්‍යයන් වන බැවිනි.




තිස්ස ප්‍රේමසිරි lakbima

Sunday, August 25, 2013

►►දුවේ නුඔ උපදින කිසිම ආත්මයක මෙවන් අවාසනාවන්ත ඉරණමකට ගොදුරු නොවෙවා►►

මල් කැකුළු වන් සුරතල් දරු පැටවුන් ගොදුරට ගන්නා අමානුෂික ලිංගික අපරාධවල අඩුවක් තවමත් දක්නට නැත. මේ නිසාම ලංකාවේ නන්දෙසින් වාර්තා වන මෙවන් අපරාධ ගැන තොරතුරු නිරන්තරයෙන්ම අපට මාධ්‍ය ඔස්සේ අසන්නට දකින්නට ලැබේ. මෙවන් වූ අපරාධ රැල්‍ලේ අලුත්ම, සානුකම්පිත සිදුවීම වාර්තා වූයේ දියතලාව ඇල්ලගම ප්‍රදේශයෙනි. එය වයස අවුරුදු අටක දැරියක රවටාගෙන ගොස්, දූෂණය කර මරා දැමීමක් පිලිබඳ අනුවේදනීය කතාවකි. ‍පොලිස් වාර්තා හා කටඋත්තර වලට අනුව එම සිදුවීම මෙසේය.
දිනය අගෝස්තු මස 19 වැනි සඳුදාය. වේලාව සවස 6.00ට ආසන්නය. හදිසියේම ඉරේෂිකාලාගේ නිවසට ආවේ පවු‍ලේ හිතවතෙකු වූ නලින්ය. ඔහු නිවසට එන විට අට හැවිරිදි ඉරේෂිකා සිටියේ පුංචි බලු පැටවුන් සමග සෙල්ලම් කරමිනි.
“දුවේ” නලින් ඉරේෂිකාට එසේ අමතමින් නිවස තුළට ඇතුළු විය. ඊළඟට ඔහු ඉරේෂිකාගේ මව කුමාරි සමග කුළුපග කතා බහකට වැටුණේය. ටික වේලාවක් කතා කරමින් සිටීමෙන් පසු නලින් කුමාරි අමතා මෙසේ කීවේය.
“මගේ කලිසමක් තියෙනවා ගෙදර. ඒක අරගෙන ඉක්මනට එන්නම්. මම තනියට ඉරේෂිකා දුවව එක්කරගෙන යනවා.”
මෙසේ කියූ නලින් පුංචි දියණිය ඉරේෂිකාගේ අතින් අල්ලාගෙන යනු කුමාරි බලා සිටියේ කිසිදු සැකයකින් තොරවය. ඒ ඔහු ඒ තරමටම පවු‍ලේ සමීප හිතවතෙකු වූ නිසාය.
“දුව මිදුලට වෙලා බලා සිටියේ එයාගේ අයියා කොළඹ ඉඳල එනකම්. එයා දන්නවා අයියා එයාට පැණි රස කෑම මොනවා හරි ගේන බව. එහෙම හිටපු දරුවට තමයි මෙහෙම අපරාධයක් වුණේ.” කුමාරි කෑ ගසා විලාප දෙමින් කීවාය.
නලින් මාමා සමග හුරතල් දඟකාර එකියක ලෙසින් ගමන් කළ පුංචි ඉරේෂිකා බොහෝ වේලාවක් යනතුරු යළි නිවසට නොආවාය. නලින් ගැනද තොරතුරක් නොවීය.
කෙසේ හෝ මෙයින් තැතිගත් කුමාරි ඉරේෂිකාට වැඩිමහල් දියණිය නිවසේ නවතා වහා මීටර සියයක් පමණ දුරින් පිහිටි නලින්ගේ නිවස බලා ආවේ මොවුන් ගැන තොරතුරක් විමසනු අටියෙනි. එහෙත් නලින්ගේ නිවසේ දොරගුළු වසා තිබුණි. කිසිවෙකු එහි සිටිනා බවක් ඉඟියකින්වත් දැනුණේ නැත.
කලබල වූ කුමාරි ඊළඟට දිව ගියේ මඳක් එහාට වන්නට තිබූ කඩ වීදිය දෙසටය. එහෙත් විපරම් කර බලද්දී නලින් සහ දියණිය එහි නොසිටියහ.
කුමාරි යළිත් වහා නිවස බලා ආවාය. ඇය පැමිණෙන විට ඉරේෂිකාගේ පියා මංගලද නිවසට පැමිණ සිටියේය.
“මංගල, අපේ චූටි දුව නලින් එක්ක ගිහින් දැන් සෑහෙන වේලාවක්. තවම ආවේ නැහැ. ගෙදරත් නැහැ.’ කුමාරි කීවේ නොසන්සුන් වූ මනසිනි.
“උඩ ගෙදර ඇති’ එසේ කියූ මංගල දැඩි වෙහෙස නිසා නිදාගන්නට සූදානම් වූයේය.
වේලාව රාත්‍රී 8.30ද පසුවිය. මංගල තද නින්දකය. නලින් සහ දියණිය ඉරේෂිකා ගැන තවමත් කිසිදු ආරංචියක් නැත. කුමාරි අසල නිවසක සිටින තම සොයුරිය සමග ඉරේෂිකා ගැන තොරතුරක් සොයන්නට වෙහෙසෙමින් සිටියාය.
‘උඹ මාර තාත්තා කෙනෙක්. කෙල්ලට මොනව වුණාද කියල හොයන්න අදහසක් නැද්ද?’ මේ මොහොතේ කුමාරිගේ සොයුරියගේ ස්වාමි පුරුෂයාද මංගලට දෝෂාරෝපණය කරන්නට වූවේ ඉරේෂිකා ගැන සොයන්නට තරම් ඕනෑකමක් ඔහු සතුව නැති බව තේරුම් ගත් නිසාය.
“හොයන්න දෙයක් නෑ. නලින් හොඳ එකා. ඌ මට විශ්වාසයි. දුව එක්ක තව ටිකකින් ඒවි.’ මංගල පිළිතුරු දුන්නේ වැඩි තැකීමකින් තොරවය.
නලින් එතරම් යහපත් චරිතයක් තිබූ අයෙකු නොවූ බව කුමාරිගේ සොයුරිය විවාහ වී සිටින තැනැත්තා හොඳින් දැන සිටියේය. එපමණක් නොව ඔහු විවිධ අකටයුතුකම් නිසා කීප අවස්ථාවක් බන්ධනාගාර ගතවී සිටි අයුරුද ඔහු මෙහිදී සිහිපත් කළේය. එමෙන්ම මත්පැන්වලට ඇබ්බැහි වී සිටින ඔහුගේ ක්‍රියාකාරකම් විශ්වාස කිරීම අනුවණකමක් බවද මස්සිනා මංගලට සිහිපත් කළේය.
“ඌ කාට මොනවා කළත් අපිට ඔය වගේ දේවල් කරන්නෙ නැහැ. නලින් හිරේ වැටිල ඉන්න කොට බලන්න ගියෙ මම. ඇඳුම් ටික හෝදලා ගිහිං දුන්නෙ, කෑම ටික ගිහින් දුන්නෙත් මම.” මංගල පුරසාරම් දෙඩුවේ නලින්ව අහස උඩ තබමිනි.
කෙසේ හෝ මේ මොහොත වන විට ඉරේෂිකාගේ වැඩිමහල් සොයුරා කොළඹ සිට නිවස බලා පැමිණ සිටියේ තම සුරතල් පුංචි නැගණියට රස කැවිලි පවා මිලදී ගෙනය.
“දුව මිදුලට වෙලා බලාගෙන හිටියෙත් එයාගේ අයියා එන බව දන්න නිසයි. පැණි රස ගෙනෙන බව දන්න නිසයිි.’ කුමාරි ඇඬූ කඳුළින් නැවතත් පැවැසුවාය.
තවත් මොහොතකින් කුමාරිගේ වැඩිමහල් පුතා, සොයුරිය එමෙන්ම ඇයගේ සැමියා ඇතුළු කීප දෙනෙකු නලින්ගේ නිවස සෝදිසි කරන්නට වූයේ කුමක් හෝ සැලකිය යුතු හෝඩුවාවක් දැනගැනීමේ අටියෙනි. මේ මොහොතේ නිවසේ ජනේලයකින් නලින්ගේ නිවසට ඇතුළු වූ ඉරේෂිකාගේ වැඩිමහල් සොයුරාට දැකගන්නට ලැබුණේ හද සසල කරවන දසුනකි.
“ගෙයි ඇඳ උඩ ඉරේෂාගේ ඇඳුම් තිබුණා. ඒවායේ ‍ලේ පැල්ලම් කීපයකුත් තිබුණා. මේවා දැක්ක හැටියේ අපි දැන ගත්තා දුවට මොකක් හෝ වින්නැහියක් සිද්ධවෙලා තියෙනවා කියලා”
වහා ‍පොලීසිය ඇමතූ ගම්මුන් මේ සිදුවීම වාර්තා කළේ දෙවරක් නොසිතාය. එමෙන්ම මේ අපරාධයේ සුලමුල හා ඉරේෂිකාට සිදුවූයේ කුමක්දැයි ඉක්මනින්ම විපරම් කර බැලීමටය.
කෙසේ හෝ ‍පොලීසිය පැමිණ සෝදිසි කර බැලීමේදී නලින්ගේ නිවසේ සිට මීටර් 200ක් 300ක් පමණ ඈතින් තිබූ කුඹුරකට අයත් පැලක් තුළදී පුංචි ඉරේෂිකාගේ නිරුවත්, නිසල දේහය සොයා ගැනීමට හැකි විය. ඒ ‍පොහොර උරවලින් වසා තිබියදීය.
‍පොලිස් පරීක්ෂණවලට අනුව මෙම අමානුෂික ඝාතනය සිදුව ඇත්තේ පුංචි ඉරේෂිකා කෲර ලෙසත්, වේදනාකාරී ලෙසත් දූෂණය කිරීමෙන් පසුවය. දැරිය දූෂණය වන අවස්ථාවේ ඇතිවූ අධික ‍ලේ වහනයත්, ඇගේ ලිංගික ප්‍රදේශයට දරුණු තුවාල සිදුවීමත් හේතුකොටගෙන මෙම මරණය සිදුව ඇති බව මේ වෙනුවෙන් පැවැති මරණ පරීක්ෂණයේදී හෙළි වී ඇත.
වයස අවුරුදු අටක් වූ, අහිංසක සමනලියක් බඳු ඉරේෂිකා දැරිය මෙලෙස බිහිසුණු කාම අපරාධයකට ගොදුරු කොට මරා දැමුවා යැයි සැක කරන නලින් ඒ වන විට සිටියේ ප්‍රදේශය අතහැර පලා ගොසිනි. දියතලාව ‍පොලීසිය හා බණ්ඩාරවෙල ‍පොලිස් කොට්ඨාසයේ අපරාධ අංශය නිල සුනඛයන් පවා යොදාගෙන සැකකරු අල්ලා ගැනීමට මෙහෙයුමක් දියත් කළේය.
සැකකරුට වැඩි කලක් ‍පොලිසියෙන් බේරී සිටීමට නොහැකි වූ අතර පසුගිය 21 වන දින දියතලාව ‍පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබිණි.
සැකකරු 21 දින රාත්‍රියේ ඔහුගේ මිතුරෙකු වන අමරේ හෙවත් ගංජා අමරේ නමැත්තාගේ නිවසේ සිටියදී මිතුරා විසින්ම දෙන ලද ඔත්තුවක් මත අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු තමාගේ නිවසට පැමිණ රාත්‍රියේ කෑමට යමක් ඉල්ලා සිටි බවත්, ඒ අවස්ථාවේ තමා ‍පොලීසියට ඔත්තුව ලබා දුන් බවත් අමරේ නමැත්තා පවසා ඇත.
සැකකරු ‍පොලීසිය හමුවේ තම අපරාධය පිළිබඳ පා‍පොච්චාරණයක් කළ බවද ‍පොලීසිය සඳහන් කරයි. තමා දැරියව තුන්වරක් දූෂණය කළ බවද, මිය ගිය පසුව ද එක්වරක් දූෂණය කළ බවද ඔහු පවසා තිබේ.
21 වැනි දින සවස දැරියගේ අවසන් කටයුතු සිදු කිරීමෙන් පැය කිහිපයකට පසු සැකකරු අත්අඩංගුවට ගන්නට හැකි වූ බව දියතලාව ‍පොලිස් ස්ථානාධිපතිවරයා පවසයි.
ඉරේෂිකා මෙම අතවරයට ගොදුරුව මියගියේ සැකකරුගේ සූක්ෂම උපායත්්, දෙමව්පියන්ගේ පසුගාමී, අපරීක්ෂාකාරී මානසික තත්ත්වයත් නිසා බව දැන් පැහැදිලිය.
බොහෝ ළමා කාම අපරාධවලට හේතුවන්නේ එම දරුවන්ගේ දෙමවුපියන් හා භාරකරුවන්ගේ වගකීමකින් තොර ක්‍රියාමාර්ග බව පසුගිය කාලයේ සිදු වූ බොහෝ අපරාධ දෙස බලන විට බෙහෙවින්ම පැහැදිලි වන කරුණකි. අද අප ජීවත්වෙමින් සිටින්නේ කාමාශාවෙන් උමතු වූ සමාජයක බව අමුතුවෙන් කිව යුතු නොවේ. මල් වැනි සුරතල් දරුදැරියන් ගැන වැඩිහිටියන්, විශේෂයෙන්ම මවුපියන් දැඩි අවධානයෙන් සහ සුපරීක්ෂාවෙන් පසුවිය යුත්තේ එබැවිනි.
 
උපුටා ගැනීම-ඩුබයි අපි පිටුවෙනි


Sunday, August 18, 2013

►►මට ඒ අයියට බෑ කියන්න බැරි වුණා►►



යෞවනයේ ගැබ් ගැනීම් පිටු දකින්නේ කොහොමද?




“මට ඒ අයියට බෑ කියන්න බැරිවුණා.”

“එයා මට පණ වගේ ආදරය කළා. එයා තරහ වෙයි කියල මට බය හිතුණා. ඒ නිසයි මම මේකට කැමැති වුණේ”.

“ඇත්තටම මම දැනගෙන හිටියෙ නැහැ මේ වගේ දෙයක් වුණාම දරුවෙක් ලැබෙනවා කියලා”.

“මට එයත් එක්ක එකතු වෙන්න කුතුහලයක් ආසාවක් තිබුණා තමයි. ඒ වුණාට ඒකෙන් මම දරුවෙක් නම් කොහෙත්ම බලා‍පොරොත්තු වුණේ නැහැ”.

මේ කතාවැල කොතැනකින් මතුවූවක්දැයි ඔබ විපිළිසරව සිටිනු නොඅනුමානය. මේ වචන, අදහස් වෙන කාගේවත් නොව අපේම සමාජයේ පාසල් වියේ පසුවන ගැබ්ගත් දැරිවියන්ගේ මුවින් නිකුත් වූ සැබෑම තොරතුරුවලින් බිඳක් පමණි. මෙවැනි අඩිතාලමක් හරහා අප මේ පිවිසීමට බලා‍පොරොත්තු වන්නේ මුළු ලෝකයටම ගැටලුවක් වී තිබෙන නව යෞවන වයසේ සිදුවන ගැබ්ගැනීම් ගැන කතා කිරීමටය.

දැරියන් දහසකගෙන් විසි අටක්ම අඩු වයසින් ගැබ් අරගෙන

මෙවර ලෝක ජනගහන දිනයේ තේමාව වී තිබෙන්නේ ද මේ “නව යෞවනියන්ගේ ගැබ් ගැනීම් වළක්වා ගනිමු” යන්නය. ලොව පුරා නව යොවුන් වියේ පසුවන දැරිවියන් (වයස අවුරුදු 15-19 ත් අතර පසුවන) මිලියන 16ක් ගැබ්ගැනීම්වලට ගොදුරුව, දරුවන් බිහිකරන අතර තවත් මිලියන 3ක් ගබ්සාවලට ලක්වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය වාර්තා කරයි. ලංකාවේ ගැබ් ගැනීම් අතරින් 6.1ක් අඩු වයසින් සිදුවන ගැබ් ගැනීම්ය. වයස අවුරුදු 15-19 ත් අතර ගැහැනු දරුවන් 1000ක ගෙන් 28ක් අඩු වයසින් ගැබ් ගන්නා බව වාර්තා වී තිබේ. 2011 වසරේ අඩු වයසින් ගැබ් ගැනීම නිසා සිදුවූ සංකූලතා හේතුවෙන් මාතෘ මරණ 20ක් සිදුව තිබේ. එසේම 2012 දී එය සංඛ්‍යාත්මකව 11 වේ. නව යෞවන වියේ ඇති වන ගැබ් ගැනීම් අප වළක්වා ගත යුත්තේ ඇයිද යන ගැටලුවට හේතු රාශියක් ඇත. නව යෞවන වියේ පසුවන දැරිවිය තවමත් දරුවෙකි. ඇයගේ සිරුර සේම මනසද සම්පූර්ණයෙන් වැඩුණු එකක් නොවේ. දරුවකු දරා සිටීමට ඇගේ ශරීරය සුදුසුකම් ලබා නැත. එසේම මොළයේ පිහිටි පූර්ව

මස්තිෂ්ක බාහිකය සම්පූර්ණයෙන් වැඩී නොමැති නිසා තීන්දු තීරණ ගැනීම නිවැරදිව කළ නොහැකිය. මේ අය තවමත් වැඩිහිටියන්ගේ භාරයේ සිටිය යුතු දරුවන්ය. බාහිරින් සියලු අඟපසඟ සම්පූර්ණ වී ඇති බව පෙනුණද ඔවුන් මානසික වශයෙන් හෝ ශාරීරිකව පිරිපුන් වැඩිහිටියන් නොවේ. ඔවුන් තීන්දු තීරණ ගන්නේ හැඟීම්වලට අනුකූලව මිස, එයින් අත්වන ප්‍රතිඵල ගැන නිසි දැනුවත් වීමකින් තොරවය. මෙවැනි දරුවන් මෙවැනි අකරතැබ්බවලට ගොදුරු නොවන ලෙස ආරක්ෂාකාරීව රැකබලාගැනීම දෙමාපිය වැඩිහිටියන්ගේ සේම මුළු සමාජයේම වගකීමකි.

වැඩේ වැරදුණාට පසු දැරියන්ට දොස්කීම

“ඔයාට ඕක කරන්න කලින් හිතන්න තිබුණේ නැද්ද මේකෙ ප්‍රතිඵල ගැන?”

මෙවැනි ගැටලුවලට මුහුණදුන් දැරිවියන්ගෙන් වැඩිහිටියන් අසනු ලබන ප්‍රධානම ප්‍රශ්නයයි. එහෙත් මෙවැනි ප්‍රශ්නයක් නැගීමට පෙර මනැස හරිහැටි නොවැඩුණු දැරිවියකට ප්‍රතිඵල දෙස බලා නිවැරදි තීන්දු තීරණ ගැනීමේ හැකියාවක් නොමැති බව වැඩිහිටියන් ලෙස මනාව තේරුම්ගත යුතුය. යමක් සිදුවූ පසු ඔවුන්ට දොස් පැවැරීමට බලා නොසිට එම අකරතැබ්බවලින් ඔවුන් ආරක්ෂා කර ගැනීමට කටයුතු සැලැස්විය යුතුය. මෙවැනි දැරියන්ට වැඩිහිටියන් දොස් පවරන්නේ තම මානසික ආතතිය අඩුකර ගැනීමට බවද අප පිළිගත යුතුය. මෙවැනි ගැටලුවලට මුහුණ පා තිබෙන දැරිවියන් අළලා මෑතකදී කළ පර්යේෂණයකින් මේ අවාසනාවන්ත තත්ත්වයට හේතු වූ කරුණු කීපයක් සොයාගෙන තිබේ. එම අඩුපාඩු හඳුනාගෙන ඒවා අවම කර ගැනීමට කටයුතු කිරීම මුළු සාමාජයේම පරම යුතුකමක් බව කිව යුතුමය.

අඩු වයසින් පාසලින් සමු ගැනීම ද හේතුවක් අඩු වයසින් ගැබ්ගන්නා දැරියන්ගෙන් 60ක් පමණ දරිද්‍රතාවයෙන් පීඩා විඳින්නියන් වේ. එසේම මින් 3/4 ක් පමණ දිගින් දිගටම දරිද්‍රතාවයේ ගොදුරු බවට පත්වෙයි. මේ දැරිවියන් අතරින් බහුතරයක් වයසට කලින් පාසලින් සමුගත් අයයි. පාසල් අධ්‍යාපනය අතරමග නවතා දැමීම, මෙවැනි අවදානම් චර්යාවලට යොමුවීමේ ඉඩ ප්‍රස්ථා වැඩි කරයි. එබැවින් පාසල් සමය සම්පූර්ණයෙන්ම නිම වන තුරු දැරිවියන් පාසල්වලට සීමාකර තැබිම විශේෂයෙන් කළයුතු වූවකි. ඔවුන් විෂය කරුණු ඉගෙන ගත්තා හෝ නැතුවා පාසල තුළ සිටීමම මෙවැනි ආපදාවලින් ආරක්ෂාවට හේතුවෙයි. එසේම පවුල් සංස්ථාව තුළ ඇතිවන බිඳවැටීම් දැරිවියන් මෙම තත්ත්වයට තල්ලු කර දැමීමක් විය හැකිය. හැකි හැම විටම පවුල තුළ සතුට සමගිය ආරක්ෂා කර ගෙන කටයුතු කිරීමට මව්පිය දෙදෙනාම වගබලාගත යුතුය. ගෘහස්ථව සිදුවන හිංසා පීඩා නිසාද සමහර දැරිවියන් මෙවැනි අකරතැබ්බවලට ගොදුරු වෙයි. විශේෂයෙන්ම නව යෞවන කාලය තුළ සතුට අත්විඳින්නට සතුටින් ජීවත් වීමට අවශ්‍ය වටාපිටාව සකස්කර දීම ඉතාම අත්‍යවශ්‍ය කරුණකි.

මවගෙන් දුරස්වීමද මෙවැනි අනතුරුවලට මුලක්

එසේම ජීවිතයට කිසියම් ඉලක්කයක් හඳුන්වා දී ඒ ඔස්සේ ගමන් කිරීමට දරුවන් පුහුණු කළ යුතුය. යොවුන් දරුවන්ට විනෝදාංශ හඳුන්වා දිය යුතුය. එසේම මෙවැනි ගැටලුවලට මුහුණ දුන් බොහෝ දැරිවියන් මවගෙන් බොහෝ ඈත්ව සිට ඇති බව පෙනේ. දැරියකට මවක් යෙහෙළියක් ලෙස සමීපව කටයුතු කිරීම අත්‍යවශ්‍ය වූවකි. ඔවුන්ගේ සිතට කිසියම් ගැටලුවක් මතු වූ විට එය පැවැසීමට කෙනකු සිටිය යුතුය. එසේම ඉතාම වැදගත්ම කරුණ වන්නේ තරුණ දුවකට කිසියම් තරුණයකු එවැනි යෝජනාවක් කළ විට එයට එකඟ විය නොහැකි බව පැවැසීමට අවශ්‍ය ආත්ම ශක්තිය ගොඩනැංවීමය. එවැනි යෝජනාවකට “නැහැ” “මට බැහැ” “ඒක කොහෙත්ම බැහැ” වැනි සෘජු පිළිතුරක් ලබාදීමට දැරිවියක පුරුදු පුහුණු කිරීම කුඩා කාලයේ සිටම කළ යුත්තකි. කෙළින් තම අදහස ප්‍රකාශ කරගත නොහැකිව සිතින් තැවෙමින්, අකමැත්තෙන් මෙවැනි යෝජනාවලට එකඟ වී මුළු ජීවිතයම අඳුරු කරගත් චරිත ඕනෑ තරම් අපට හමුවෙයි. පෙම් සබඳතා අහිතකර නොවන බවත් ඉන් ඔබ්බට ගොස් ඒවා ලිංගික හැසිරීම් දක්වා වර්ධනය කරගැනීම මගින් ජීවිතයට අත්විය හැකි අඳුරු ඉරණම ගැන දරුවා දිගින් දිගටම දැනුවත් කිරීම කළ යුතුය. යොවුන් දරුවන්ගේ සිතැඟි වටහා ගනිමින් ඔවුනගේ ප්‍රශ්න ගැටලුවලට පිළිතුරු සොයාදීමට කටයුතු කරමින් ඔවුන් හා සමීපව දිවි ගෙවීම මෙවැනි ගැටලු අවම කර ගැනීමට මනා පිටිවහලක් වෙයි.


සෞඛ්‍ය අමාත්‍යංශයේ සෞඛ්‍ය අධ්‍යාපන හා ප්‍රචාරක අංශයේ අධ්‍යක්ෂිකා ප්‍රජා විශේෂඥ වෛද්‍ය නීලමණී රාජපක්ෂ හේවාගීගන විසිනි


(සෞඛ්‍ය අධ්‍යාපන කාර්යංශයේ දී කළ දේශනයක් ඇසුරිනි)


සටහන නිර්මලා කුමාරි සේනාරත්න


lakbima

Monday, August 12, 2013

►සිව්දරු පියා දහතුන් වියැති දියණියව අට වසරක් කෙළෙසලා►



තම දියණිය මංමුලා කරමින් අට වසරක් පුරා තම දියණිය දූෂණය කළ පියෙකු පානදුර පොලිසිය විසින් පසුගිය 09 වැනිදා අත්අඩංගුවට ගෙන පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පානදුර වැඩබලන මහේස්ත්‍රාත් ජයන්ති පීරිස් මහත්මිය විසින් මෙම සැකකරු මේ මස 19 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට නියෝග කළාය.
මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවේ පානදුර මාදුපිටියේ පදිංචි සිව්දරු පියෙකි. මෙම පියා විසින් දියණියට විටින් විට නොයෙක් අසභ්‍ය චිත්‍රපටි හා සඟරා පෙන්වමින් දියණිය විටින් විට දූෂණයට පත් කර ඇතිබව පොලිසිය පවසයි.
සිද්ධිය සම්බන්ධන් මෙම දියණිය පොලිසියට පවසා ඇත්තේ දැන් ඇයට වයස අවුරුදු 13 ක් බවත් ඇගේ මව විදේශගතව ඇති බවත් අනිකුත් සොයුරියන් තිදෙනා බලාගත්තේ මෙම දියණිය හා ඇගේ ආච්චි අම්මා බවත්ය. තවද ආච්චි අම්මා නිවසේ නොමැති අවස්ථාවල තම පියා තමා සමග ලිංගිකව හැසිරෙන බවද ඇය පොලිසියට පවසා ඇතැයි පොලිසිය කියයි. පොලිසියට ලැබුණු රහසිගත තොරතුරකට අනුව මෙම සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකිවූ බව පොලිසිය පවසයි. පොලිසිය විසින් සැකකරු අත්අඩංගුවට ගැනීමේ දී මෙම සැකකරුගේ නිවසේ තිබී උපත් පාලන කොපු 7 ක් හා අසභ්‍ය සඟරා කිහිපයක්ද සොයා ගැනීමට හැකි වූ බව පොලිසිය පවසයි.
මෙලෙස දූෂණයට ලක්වූ දැරිය පානදුර කේතුමති රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර සිද්ධිය සම්බන්ධයෙන් පානදුර අපරාධ අංශයේ ස්ථානාධිපති ඉන්ද්‍රජිත් මහතාගේ උපදෙස් මත ළමා හා කාන්තා කාර්යංශයේ නිලධාරින් වැඩිදුර පරික්ෂණ සිදුකරනු ලබයි.






එම්.පී.මනෝජ් කුරේ - මොරටුවlakbima