Sunday, August 25, 2013

►►දුවේ නුඔ උපදින කිසිම ආත්මයක මෙවන් අවාසනාවන්ත ඉරණමකට ගොදුරු නොවෙවා►►

මල් කැකුළු වන් සුරතල් දරු පැටවුන් ගොදුරට ගන්නා අමානුෂික ලිංගික අපරාධවල අඩුවක් තවමත් දක්නට නැත. මේ නිසාම ලංකාවේ නන්දෙසින් වාර්තා වන මෙවන් අපරාධ ගැන තොරතුරු නිරන්තරයෙන්ම අපට මාධ්‍ය ඔස්සේ අසන්නට දකින්නට ලැබේ. මෙවන් වූ අපරාධ රැල්‍ලේ අලුත්ම, සානුකම්පිත සිදුවීම වාර්තා වූයේ දියතලාව ඇල්ලගම ප්‍රදේශයෙනි. එය වයස අවුරුදු අටක දැරියක රවටාගෙන ගොස්, දූෂණය කර මරා දැමීමක් පිලිබඳ අනුවේදනීය කතාවකි. ‍පොලිස් වාර්තා හා කටඋත්තර වලට අනුව එම සිදුවීම මෙසේය.
දිනය අගෝස්තු මස 19 වැනි සඳුදාය. වේලාව සවස 6.00ට ආසන්නය. හදිසියේම ඉරේෂිකාලාගේ නිවසට ආවේ පවු‍ලේ හිතවතෙකු වූ නලින්ය. ඔහු නිවසට එන විට අට හැවිරිදි ඉරේෂිකා සිටියේ පුංචි බලු පැටවුන් සමග සෙල්ලම් කරමිනි.
“දුවේ” නලින් ඉරේෂිකාට එසේ අමතමින් නිවස තුළට ඇතුළු විය. ඊළඟට ඔහු ඉරේෂිකාගේ මව කුමාරි සමග කුළුපග කතා බහකට වැටුණේය. ටික වේලාවක් කතා කරමින් සිටීමෙන් පසු නලින් කුමාරි අමතා මෙසේ කීවේය.
“මගේ කලිසමක් තියෙනවා ගෙදර. ඒක අරගෙන ඉක්මනට එන්නම්. මම තනියට ඉරේෂිකා දුවව එක්කරගෙන යනවා.”
මෙසේ කියූ නලින් පුංචි දියණිය ඉරේෂිකාගේ අතින් අල්ලාගෙන යනු කුමාරි බලා සිටියේ කිසිදු සැකයකින් තොරවය. ඒ ඔහු ඒ තරමටම පවු‍ලේ සමීප හිතවතෙකු වූ නිසාය.
“දුව මිදුලට වෙලා බලා සිටියේ එයාගේ අයියා කොළඹ ඉඳල එනකම්. එයා දන්නවා අයියා එයාට පැණි රස කෑම මොනවා හරි ගේන බව. එහෙම හිටපු දරුවට තමයි මෙහෙම අපරාධයක් වුණේ.” කුමාරි කෑ ගසා විලාප දෙමින් කීවාය.
නලින් මාමා සමග හුරතල් දඟකාර එකියක ලෙසින් ගමන් කළ පුංචි ඉරේෂිකා බොහෝ වේලාවක් යනතුරු යළි නිවසට නොආවාය. නලින් ගැනද තොරතුරක් නොවීය.
කෙසේ හෝ මෙයින් තැතිගත් කුමාරි ඉරේෂිකාට වැඩිමහල් දියණිය නිවසේ නවතා වහා මීටර සියයක් පමණ දුරින් පිහිටි නලින්ගේ නිවස බලා ආවේ මොවුන් ගැන තොරතුරක් විමසනු අටියෙනි. එහෙත් නලින්ගේ නිවසේ දොරගුළු වසා තිබුණි. කිසිවෙකු එහි සිටිනා බවක් ඉඟියකින්වත් දැනුණේ නැත.
කලබල වූ කුමාරි ඊළඟට දිව ගියේ මඳක් එහාට වන්නට තිබූ කඩ වීදිය දෙසටය. එහෙත් විපරම් කර බලද්දී නලින් සහ දියණිය එහි නොසිටියහ.
කුමාරි යළිත් වහා නිවස බලා ආවාය. ඇය පැමිණෙන විට ඉරේෂිකාගේ පියා මංගලද නිවසට පැමිණ සිටියේය.
“මංගල, අපේ චූටි දුව නලින් එක්ක ගිහින් දැන් සෑහෙන වේලාවක්. තවම ආවේ නැහැ. ගෙදරත් නැහැ.’ කුමාරි කීවේ නොසන්සුන් වූ මනසිනි.
“උඩ ගෙදර ඇති’ එසේ කියූ මංගල දැඩි වෙහෙස නිසා නිදාගන්නට සූදානම් වූයේය.
වේලාව රාත්‍රී 8.30ද පසුවිය. මංගල තද නින්දකය. නලින් සහ දියණිය ඉරේෂිකා ගැන තවමත් කිසිදු ආරංචියක් නැත. කුමාරි අසල නිවසක සිටින තම සොයුරිය සමග ඉරේෂිකා ගැන තොරතුරක් සොයන්නට වෙහෙසෙමින් සිටියාය.
‘උඹ මාර තාත්තා කෙනෙක්. කෙල්ලට මොනව වුණාද කියල හොයන්න අදහසක් නැද්ද?’ මේ මොහොතේ කුමාරිගේ සොයුරියගේ ස්වාමි පුරුෂයාද මංගලට දෝෂාරෝපණය කරන්නට වූවේ ඉරේෂිකා ගැන සොයන්නට තරම් ඕනෑකමක් ඔහු සතුව නැති බව තේරුම් ගත් නිසාය.
“හොයන්න දෙයක් නෑ. නලින් හොඳ එකා. ඌ මට විශ්වාසයි. දුව එක්ක තව ටිකකින් ඒවි.’ මංගල පිළිතුරු දුන්නේ වැඩි තැකීමකින් තොරවය.
නලින් එතරම් යහපත් චරිතයක් තිබූ අයෙකු නොවූ බව කුමාරිගේ සොයුරිය විවාහ වී සිටින තැනැත්තා හොඳින් දැන සිටියේය. එපමණක් නොව ඔහු විවිධ අකටයුතුකම් නිසා කීප අවස්ථාවක් බන්ධනාගාර ගතවී සිටි අයුරුද ඔහු මෙහිදී සිහිපත් කළේය. එමෙන්ම මත්පැන්වලට ඇබ්බැහි වී සිටින ඔහුගේ ක්‍රියාකාරකම් විශ්වාස කිරීම අනුවණකමක් බවද මස්සිනා මංගලට සිහිපත් කළේය.
“ඌ කාට මොනවා කළත් අපිට ඔය වගේ දේවල් කරන්නෙ නැහැ. නලින් හිරේ වැටිල ඉන්න කොට බලන්න ගියෙ මම. ඇඳුම් ටික හෝදලා ගිහිං දුන්නෙ, කෑම ටික ගිහින් දුන්නෙත් මම.” මංගල පුරසාරම් දෙඩුවේ නලින්ව අහස උඩ තබමිනි.
කෙසේ හෝ මේ මොහොත වන විට ඉරේෂිකාගේ වැඩිමහල් සොයුරා කොළඹ සිට නිවස බලා පැමිණ සිටියේ තම සුරතල් පුංචි නැගණියට රස කැවිලි පවා මිලදී ගෙනය.
“දුව මිදුලට වෙලා බලාගෙන හිටියෙත් එයාගේ අයියා එන බව දන්න නිසයි. පැණි රස ගෙනෙන බව දන්න නිසයිි.’ කුමාරි ඇඬූ කඳුළින් නැවතත් පැවැසුවාය.
තවත් මොහොතකින් කුමාරිගේ වැඩිමහල් පුතා, සොයුරිය එමෙන්ම ඇයගේ සැමියා ඇතුළු කීප දෙනෙකු නලින්ගේ නිවස සෝදිසි කරන්නට වූයේ කුමක් හෝ සැලකිය යුතු හෝඩුවාවක් දැනගැනීමේ අටියෙනි. මේ මොහොතේ නිවසේ ජනේලයකින් නලින්ගේ නිවසට ඇතුළු වූ ඉරේෂිකාගේ වැඩිමහල් සොයුරාට දැකගන්නට ලැබුණේ හද සසල කරවන දසුනකි.
“ගෙයි ඇඳ උඩ ඉරේෂාගේ ඇඳුම් තිබුණා. ඒවායේ ‍ලේ පැල්ලම් කීපයකුත් තිබුණා. මේවා දැක්ක හැටියේ අපි දැන ගත්තා දුවට මොකක් හෝ වින්නැහියක් සිද්ධවෙලා තියෙනවා කියලා”
වහා ‍පොලීසිය ඇමතූ ගම්මුන් මේ සිදුවීම වාර්තා කළේ දෙවරක් නොසිතාය. එමෙන්ම මේ අපරාධයේ සුලමුල හා ඉරේෂිකාට සිදුවූයේ කුමක්දැයි ඉක්මනින්ම විපරම් කර බැලීමටය.
කෙසේ හෝ ‍පොලීසිය පැමිණ සෝදිසි කර බැලීමේදී නලින්ගේ නිවසේ සිට මීටර් 200ක් 300ක් පමණ ඈතින් තිබූ කුඹුරකට අයත් පැලක් තුළදී පුංචි ඉරේෂිකාගේ නිරුවත්, නිසල දේහය සොයා ගැනීමට හැකි විය. ඒ ‍පොහොර උරවලින් වසා තිබියදීය.
‍පොලිස් පරීක්ෂණවලට අනුව මෙම අමානුෂික ඝාතනය සිදුව ඇත්තේ පුංචි ඉරේෂිකා කෲර ලෙසත්, වේදනාකාරී ලෙසත් දූෂණය කිරීමෙන් පසුවය. දැරිය දූෂණය වන අවස්ථාවේ ඇතිවූ අධික ‍ලේ වහනයත්, ඇගේ ලිංගික ප්‍රදේශයට දරුණු තුවාල සිදුවීමත් හේතුකොටගෙන මෙම මරණය සිදුව ඇති බව මේ වෙනුවෙන් පැවැති මරණ පරීක්ෂණයේදී හෙළි වී ඇත.
වයස අවුරුදු අටක් වූ, අහිංසක සමනලියක් බඳු ඉරේෂිකා දැරිය මෙලෙස බිහිසුණු කාම අපරාධයකට ගොදුරු කොට මරා දැමුවා යැයි සැක කරන නලින් ඒ වන විට සිටියේ ප්‍රදේශය අතහැර පලා ගොසිනි. දියතලාව ‍පොලීසිය හා බණ්ඩාරවෙල ‍පොලිස් කොට්ඨාසයේ අපරාධ අංශය නිල සුනඛයන් පවා යොදාගෙන සැකකරු අල්ලා ගැනීමට මෙහෙයුමක් දියත් කළේය.
සැකකරුට වැඩි කලක් ‍පොලිසියෙන් බේරී සිටීමට නොහැකි වූ අතර පසුගිය 21 වන දින දියතලාව ‍පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබිණි.
සැකකරු 21 දින රාත්‍රියේ ඔහුගේ මිතුරෙකු වන අමරේ හෙවත් ගංජා අමරේ නමැත්තාගේ නිවසේ සිටියදී මිතුරා විසින්ම දෙන ලද ඔත්තුවක් මත අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු තමාගේ නිවසට පැමිණ රාත්‍රියේ කෑමට යමක් ඉල්ලා සිටි බවත්, ඒ අවස්ථාවේ තමා ‍පොලීසියට ඔත්තුව ලබා දුන් බවත් අමරේ නමැත්තා පවසා ඇත.
සැකකරු ‍පොලීසිය හමුවේ තම අපරාධය පිළිබඳ පා‍පොච්චාරණයක් කළ බවද ‍පොලීසිය සඳහන් කරයි. තමා දැරියව තුන්වරක් දූෂණය කළ බවද, මිය ගිය පසුව ද එක්වරක් දූෂණය කළ බවද ඔහු පවසා තිබේ.
21 වැනි දින සවස දැරියගේ අවසන් කටයුතු සිදු කිරීමෙන් පැය කිහිපයකට පසු සැකකරු අත්අඩංගුවට ගන්නට හැකි වූ බව දියතලාව ‍පොලිස් ස්ථානාධිපතිවරයා පවසයි.
ඉරේෂිකා මෙම අතවරයට ගොදුරුව මියගියේ සැකකරුගේ සූක්ෂම උපායත්්, දෙමව්පියන්ගේ පසුගාමී, අපරීක්ෂාකාරී මානසික තත්ත්වයත් නිසා බව දැන් පැහැදිලිය.
බොහෝ ළමා කාම අපරාධවලට හේතුවන්නේ එම දරුවන්ගේ දෙමවුපියන් හා භාරකරුවන්ගේ වගකීමකින් තොර ක්‍රියාමාර්ග බව පසුගිය කාලයේ සිදු වූ බොහෝ අපරාධ දෙස බලන විට බෙහෙවින්ම පැහැදිලි වන කරුණකි. අද අප ජීවත්වෙමින් සිටින්නේ කාමාශාවෙන් උමතු වූ සමාජයක බව අමුතුවෙන් කිව යුතු නොවේ. මල් වැනි සුරතල් දරුදැරියන් ගැන වැඩිහිටියන්, විශේෂයෙන්ම මවුපියන් දැඩි අවධානයෙන් සහ සුපරීක්ෂාවෙන් පසුවිය යුත්තේ එබැවිනි.
 
උපුටා ගැනීම-ඩුබයි අපි පිටුවෙනි