Saturday, August 31, 2013

►► දියණියන්ට දෑවැද්ද සොයන්න සති අන්තයේ කොළඹ හිඟාකෑ ආණ්ඩුවේ ලිපිකරුවා►►



කලෙකට ඉහත දිනයක එංගලන්තයේ එක්තරා නගරයක වාසය කළ ධනපති පවුලක කාන්තාවක් වෙත විදුලි පණිවුඩයක් ලැබිණි. ඉන් කියවුණේ විදෙස් ගතව සිටින සිය සොහොයුරෙකු විසින් නැව් මගින් එවන ලද භාණ්ඩයක් අදාළ ගුදම වෙත පැමිණ බාර ගන්නා ලෙසය. ෙදෙනිකව සිදුවන පරිදි මේ මොහොතේ ඇගේ සැමියා සිය ව්‍යාපාරික කටයුතු සඳහා පිටත්ව ගොස් සිටි බැවින් කුලී රථයක් ගෙන්වා ගත් ඇය පෙර කී ස්ථානය බලා පිටත්ව ගියාය. ඇය මීට ප්‍රථම ගමන්කර නොතිබූ මෙම නැව්තොට ආශ්‍රිත ප්‍රදේශය රළු හඩින් කෑගසන මිනිසුන්ගෙන් සහ කම්කරුවන් ආදීන්ගෙන් ජනාකීර්ණව තිබිණි. කෙසේ වෙතත් අදාළ ස්ථානයට යන මාවතෙහි වූ තදබදයක් හේතුකොට ගෙන කුලී රථය නැවතුණ අතර ඉන් බැස ඉතිරි දුර පයින් යන්නට ඇය තීරණය කළාය.

ඒ අනුව රියෙන් බට ඇය හාත්පස සිසාරා නෙත් හෙළනු ලැබුවේ අදාළ ස්ථානය ගැන අවබෝධයක් ලබා ගනු රිසියෙනි.

නමුත් තවත් තත්පර ගණනක කාලයක් තුළ ඇය දුටුවේ අනපේක්ෂිත දසුනකි. එනම් මංපෙතේ තමාට වම්පසින් වූ අපිරිසිදු ගොඩනැගිල්ලක ඒ ඉහළ මාලයේ ජනේලයක් අසල සිටගෙන සිටින තම සැමියාය. ඔහු මෙවැනි තැනකදී දක්නට ලැබිම තමාව කම්පනයට පත්කරනු ලැබුවාක් මෙන් ඔහුද සිය බිරිඳගේ අනපේක්ෂිත දර්ශනය හේතු කොටගෙන දැඩි විමතියකට සහ නොසන්සුන්තාවයකට ලක්වූ බවක් පෙනෙන්නට තිබිණි. ඉක්බිති ඔහු නිරන්තර පුරුද්දකින් සිදු කරන දෙයක් පරිද්දෙන් ඇයට අත වැනූ නමුත් එක් වරම පියවි සිහිය ලැබූ අයෙකු පරිදි ජනේලය අසලින් අතුරුදහන් වූවේය.

මේ අනපේක්ෂිත හමුව හේතුකොටගෙන මහත් පුදුමයකට පත් වූ කාන්තාව සිය ගමන අමතක කොට තම සැමියාව දුටු ගොඩනැගිල්‍ලේ පඩිපෙළ දිගේ ඉහළට නගින්නට තැන් කළාය. එහෙත් රළු පෙනුමක් සහිත චණ්ඩි පහේ පුද්ගලයෙකු විසින් ඇයව නවත්වනු ලැබිණි. අවසානයේ ‍පොලිස් භටයින් කීප දෙනෙකු සමග ඒ ස්ථානය පරීක්ෂා කළද ඇයට තම සැමියා සොයාගත නොහැකි විය. ඒ වෙනුවට එතැන සිටියේ ‍පොලිස් නිලධාරීන් පවා නිරන්තර දැක පුරුදු විරූපී මුහුණක් සහිත හිඟන්නෙකු පමණි.

එම හිඟන්නා මෙන්ම එතැන සිටි අනෙක් දෙතුන් දෙනාද පැවසුවේ එවැනි අයෙකු මෙහි නොසිටි බවය. නමුත් ඒ ස්ථානයේ සිට හමුවූ පෙර කී කාන්තාවගේ සැමියාට අයත් භාණ්ඩ කීපයක් නිසා සිඟන්නා සිර බාරයට පත්වෙයි.

මේ අතර සිය සැමියා දින කීපයක් ගෙදර නොපැමිණීම නිසා ඒ ගැන පරීක්ෂණ මෙහෙයවන ‍පොලිස් පරීක්ෂකයාට අවසානයේ සොයා ගැනීමට ලැබෙන්නේ ව්‍යාපාරිකයෙකු බව හඟවා ඉතා ධනවත් මට්ටමෙන් ජීවත්වන ඇයගේ සැමියා වූ කලී අන් කවුරුවත් නොව මෙම විරූපී මිනිසෙකු ලෙස වෙස්වලා ගත් මෙම හිඟන්නා බවය.

ලොව අංක එකේ රහස් පරීක්ෂක නවකතාකරු සර් ආතර් කොනන් ඩොයිල්ගේ කතාවක එන ඉහත සඳහන් සිද්ධිය හුදු ප්‍රබන්ධයක් පමණක් නමුදු අපේ ශ්‍රී ලංකාවේ සැබෑ සමාජය තුළ ප්‍රබන්ධයට වඩා විස්මිත ලෙස එවැනි දේ සිදුවේ.

කලකට ඉහත ‍පොළොන්නරුව නගරයේ සිට තරමක් ඈතට වන්නට ජීවත්වූ රාජ්‍ය සේවයේ නියුතු ලිපිකරුවෙක් විය. තමාට ලැබෙන වැටුප කෑම ඇඳීම ඇතුළු එදිනෙදා අවශ්‍යතා සපුරා ගැනීමට ප්‍රමාණවත් වුවද ඔහුගේ මූලික බලා‍පොරොත්තුව වූ ලොකු ගෙයක් තනා ගැනීමේ සිහිනයට අලගු තබන්නටවත් ප්‍රමාණවත් නොවීය. මෙම ගෙයක් තනා ගැනීමේ සිහිනය හා බැඳුණු තවත් සුවිශේෂ කාරණාවක් ද විය. එය නම් ඒ වන විට පාසල් අධ්‍යාපනය හමාර කර සිටි තම තරුණ දියණියන් දෙදෙනා විවාහ කර දීමේ අභියෝගයට මුහුණ දී සිටීමයි.

එය ඔහුට අභියෝගයක්ම වීමටද කාරණා තිබිණි. ඉන් පළමුවැන්න නම් ඔහුගේ දියණියන් දෙදෙනාම සා.පෙළ ලිවීමෙන් පසුව රැකියාවක්ද නොලැබ ගෙදර නැවතී සිටීමය. ඊළඟ කරුණ වූවේ ඔවුන් දෙදෙනාම එතරම් ආකර්ෂණිය රූ සපුවකින්ද යුතු නොවීමය. මේ හැරුණු කළ වැඩිමහල් දියණිය යම් පමණක මන්ද මානසික ස්වභාවයකින් යුතු වීම ද ඔහුගේ ජීවන ගැටලුව තවදුරටත් සංකීර්ණ තත්ත්වයට පත් කරවනු ලැබිණි.

මේ සියල්ලටම විසඳුම ලෙස ඔහුට පෙනී ගියේ ලොකු දෑවැද්දක් තිබේ නම් දියණියන්ගේ කටයුතු කෙසේ හෝ ඉවරයක් කර ගත හැකි බවය. අනෙක් කාරණය පෙනුමට ගෙයක් දොරක් තිබේනම් කාරණය වඩාත් පහසු විය හැකි බවය.

ඒ සඳහා කළ යුතු බොහෝ දේ ගැන ඔහු නිරන්තරව කල්පනා කළේය. ඒ හැම දේටම විශාල ප්‍රාග්ධනයක්ද, කාලයක්ද සියල්ලටම වඩා වාසනාවද අවශ්‍ය බව ඔහු අවබෝධ කර ගත්තේය. ඒ නිසා එවැනි සැලසුම් සියල්ල ඔහු ඉවත දැම්මේය.

තවත් මාස හත අටක් ගතවිය. ගෙදර බිරිඳද අසල්වාසීින්ද පුදුමයට පත් කරමින් ඔහු හොඳ ගෙයක් සඳහා අත්තිවාරම් දැම්මේය. ඉක්බිති හෙමින් හෙමින් වුවද දින සති මාස ගතවෙමින් ගෙය ගොඩනැගෙන්නට වූවේය. අනතුරුව අවුරුදු තුනයි මාස කීපයක් ඇතුළත පූර්ණ වශයෙන් ගෙයි වැඩ නිම කෙරුණු අතර තවත් අවුරුදු තුන හමාරක් ඇතුළත සිය දියණියන් දෙදෙනාම විවාහ කර දීමටද හැකි විය. ඔහු සිය ලිපිකරු දිවියෙන් විශ්‍රාම ගියේ හොඳ ගෙයක්, ගොවිතැන් කටයුතු සඳහා කුලියට දෙන ට්‍රැක්ටරයක් සහ තම අරමුණු ඉටුකර ගැනීම ගැන හිතේ සතුටක්ද සහිතවය.

මානසිකව මෙන්ම ආර්ථිකවද හෙම්බත් වී සිටි ලිපිකරුවා මේසා ප්‍රාතිහාර්යයක් සිදු කළේ කෙසේද?

ඒ කතාව පටන් ගන්නේ එක් සිකුරාදා දිනක ඔහු ‍පොළොන්නරුවේ සිට කොළඹට පැමිණි ගමනකිනි.

කොළඹ ගෙන්දගම් ‍පොළොව පෑගූ ඔහු කෙළින්ම ගියේ මට්ටක්කුලියේ ජීවත් වන ඔහු දන්නා කියන පැරණි මිතුරෙකු හමුවන පිණිසය.

ලිපිකාර සේවයේ සමකාලීනයෙකු නොවූවද රැකියාවේ ආරම්භක අවධියේ ඔහු මේ පුද්ගලයා අඳුනාගෙන තිබුණා පමණක්ද නොව ඔවුන් අතර දැඩි මිත්‍රත්වයක්ද ගොඩනැගී තිබුණි. එකල මොරිස් මයිනර් ටැක්සියක් පැද වූ ඔහු වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම ටැක්සිකාරයෙකු විය. එනම් ඕනෑම දෙයකට ඔට්ටු හිත හොඳ මිනිසෙකු විය. කෙලෙහිගුණ දන්නා මිනිසෙකු ද වූ ඔහු මෙම ලිපිකරුවා හා මෙතරම් බැඳීමක් ඇතිකරගෙන ඇත්තේ ඔහුගේ දරුවෙකු අසාධ්‍ය තත්ත්වයක පසුවෙද්දී දන්නා කියන වෛද්‍යවරයකුට යොමුකර දිවි බේරාදීම නිසාය.

ඉතින් මේ කියන සිකුරාදා දිනයේදී ලිපිකරු මහතා ඔහු හා තම මුදල් ප්‍රශ්න ගැන කතා කිරීමේදී පවසා ඇත්තේ “එහෙම සල්ලි හොයන්න නම් ඉතින් කරන්න තියෙන්නෙ හිඟාකන එක තමයි. මොකද අද ‍පොලියට සල්ලි දෙන හිඟන්නොත් ඉන්නවා. මමත් හදිස්සියට සල්ලි අරගෙන තියෙනවා” යනුවෙනි. එහෙත් තම ලිපිකරු මිතුරා කිසිසේත්ම එවැනි වැඩකට යොමු වේ යැයි ඔහු සිහිනෙකින්වත් නොසිතන්නට ඇත.

නමුත් ලිපිකරු මහතා ඉතා තීරණාත්මකව ඔහුට පැවැසුවේ “එක්කෝ තමා සියදිවි නසාගත යුතුයි නැතිනම් හිඟාකෑමෙන් හෝ මුදල් උපයා ගත යුතුයි කියාය.

ඒ අනුව යම් යම් වාද විවාද අවසානයේ ටැක්සි රියැදුරා එයට කැමති විය. මිතුරාට කළ හැකි හොඳම උපකාරය ලෙස හිඟන වෙස් ගැනීමට ස්ථානයකුත්, විශ්වාසය රැකියාවේ ප්‍රතිඥාවත් සමග කොච්චිකඩේ පල්ලිය ඇතුළුව හිඟමනේ යෙදී සිටියදී ආරක්ෂාව සැපයීමත් බාර ගන්නා ලදී.

‍පොළොන්නරුවේ ලිපිකරු මහතා හිඟමනට වැටුණේ ඒ ආකාරයෙනි. එහිදී ඔහු විසින් අනුගමනය කළ උපක්‍රම මොනවාදැයි කියන්නට අපි නොදනිමු.

එහෙත් ඔහු ඉතා කෙටි කලකින් තම යාචක වෘත්තීයේ මනා නිපුණතාවයක් ලබාගත් බව පමණක් නොව මිතුරු ටැක්සි රියැදුරා හරහා මුදල් ‍පොලියට දුන් බවද ඉතා පැහැදිලිව දනිමු.

මා අසා දැනගත් පරිදි ඔහු වැඩි ලාභයක් ලබාගෙන ඇත්තේ සුළු පරිමාණ වෙළෙඳුන්ට මුදල් දී හවසට ‍පොලියත් සමග ලබා ගැනීමෙනි.

මේ නිසා තම මිතුරා හිඟමනට යොමුවීම ගැන ටැක්සි රියැදුරා මුලදී අකමැත්තක් දැක්වූවද පසුව අනේ‍යාන්‍ය සහයෝගය මත එකිනෙකා දියුණුවීමත් සමග එය අකාමකා විය. නගරයේ පහළ මට්ටමේ විවිධ ස්ථරයෙන් ඇසුරු කරන රියැදුරාට යාචකයෙකු යනු පහත් මිනිසෙකු ලෙස පෙනුණේද නැත.

ලිපිකරුවා යාචක දිවියෙන් සාර්ථකත්වයක් ලැබූවද මෙම ලියුම්කරුගේ අදහස නම් පසුකාලීනව ඔහු යාචක වෘත්තිය නිල වශයෙන් තබා ගනිමින් ඉතා සාර්ථකව මෙම ‍පොලී ව්‍යාපාරය පවත්වාගෙන ගොස් ඇති බවය. පසුකාලීනව ඔහුගෙන් ‍පොලියට මුදල් ලබාගත් අය අතර නගරයේ බාබර් සාප්පු හිමියන්, කුඩා තේ කඩ හා කුඩා සාප්පු ව්‍යාපාරිකයින් හා පේමන්ට් වෙළෙඳුන්ද වූ බව පැවැසේ. කොටින්ම මාහට මෙම තොරතුරු සපයා දීමට මුල් වූ ලියනෝරිස් මුදලාලි මහතාද තමාගේ ආරම්භක අවධියේ ඔහුගෙන් මුදල් ‍පොලියට ගත් බව මා සමග පැවැසීය.

ලිපිකරුවාගේ මෙම ජීවන රටාව හෝ ඔහුගේ තත්ත්වය පිළිබඳව විවිධ කට කතා පැතිරුණද ඔහු හිඟා කා මුදල් ඉපයූ බව කිසිවෙකුට ආරංචි වූ බවක් නොදනිමු. සමහර විටක එසේ ආරංචි වුවද හිඟාකෑමෙන් මෙතරම් ධනයක් උපයා ගත හැකි යැයි ‍පොළොන්නරුවේ එකල ගැමියෝ කිසිසේත් විශ්වාස කරන්නටද නැත.

නමුත් මේ සියල්ලටම වඩා මෙහි ඇති විශේෂත්වය වන්නේ තමන්ගේ අරමුණු ඉටුවූවායින් පසු ලිපිකරු මහතා ඒ සියල්ල සැනෙකින් නවතා දමා සන්සුන් විශ්‍රාම දිවිපවෛතට සම්ප්‍රාප්ත වීමය.

මෙම සිදුවීමට පසුබිම් වන්නේ මීට වසර 25කට පමණ එහායින් වූ කාල පරිච්ජේදයකි.

ඒ අනුව දැන් වනවිට අන් සියල්ල මෙන්ම යාචක වෘත්තියේද යම් යම් වෙනස්කම් සිදුවී තිබේ.

කෙසේ වුවත් කොළඹ නගරය තුළ හිඟන්නන් මෙන් ජීවත්වන්නවුන්ට අමතරව පිටපළාත්වල සිට ෙදෙනිකව කොළඹට පැමිණ හිඟන වෙස් ගෙන හිඟා කා ආපසු ගම්රටවලට යන අඹුසැමි ජෝඩුද සිටින බව අනාවරණය වෙයි. මෙසේ උදයෙන්ම කොළඹට පැමිණෙන ඔවුන් හිඟන වෙස් ගනුලබන්නේ කොළඹ විහාරමහාදේවී උද්‍යානයේදී යැයි ප්‍රවීණ මාධ්‍යවේදියෙකු වූ චන්ද්‍රභානු සමරවීර මහතා මා සමග පැවසීය.

ඒ වාගේම ඔහු පැවසූ තවත් අපූරු කතාවක් වූවේ මීට අවුරුදු 10 - 15ට පෙර කොළඹ ජාතික රෝහ‍ලේදී මිය ගිය හිඟන්නකු පිළිබඳව පැවැත්වූ මරණ පරීක්ෂණයකදී ඔහු මියගොස් තිබුණේ බඩගින්නෙන් යැයි හෙළිදරව් වූ බවය. නමුත් ඒ හිඟන්නාට අයිති ඔලගුවේ රුපියල් 30,000කට අධික මුදලක් වෛද්‍යවරුන්ට සොයා ගත හැකිව තිබේ.

ඒ වගේම තවත් දවසක මා මිත්‍ර චන්ද්‍රභානු සමරවීර මහතා හිඟන්නෙකුට මුදලක් දීමට තැත් කරද්දී තවත් අයෙකු ඔහුව වළකා ඇත්තේ “ඔය යකාට සල්ලි දෙන්න එපා, බොරුවට හිඟාකන්නෙ. මේ වෙනකොටත් මිනිහගෙ ත්‍රීවිල් දෙකක් පාරේ දුවනවා” යැයි කියමිනි. මා මිත්‍රයා ඒ කියමනෙහි සත්‍ය අසත්‍යභාවය සොයාබලා ඇති අතර ත්‍රීවිල් දෙක පමණක් නොව ඔහු සතුව මෝටර් සයිකලයක්ද ඇති බව දැනගෙන තිබේ. මේ හැර ඔහු මට කියූ තවත් කතාවක් වූවේ හිඟන්නන් අතර ඉතා කෙටි කාලයක් සහ කෙටි දුරක් තුළ ලොකු මුදලක් උපයා ගැනීමේ දක්ෂයින් සිටින බවයි. ඔහු පවසන පරිදි දහවල් 10න් පසු ටවුන් හෝල්වලින් 138 ට නගින කාන්තාවක් දෙල්කඳින් බසින්නේ හිඟමනින් ලැබුණු සල්ලි කොළ තොගයක්ද සමගය.

ඒ වාගේම බොරැල්ල හන්දියේ සිටින එක් හිඟන්නෙකු රාත්‍රී ආහාරයට පෙර අනිවාර්යයෙන්ම බියර් බෝතලයක් පානය කරයි. මේ හැර ඔහු ගැන වැඩියමක් දැනගත නොහැක්කේ ඔහු ඇත්තම ගොළුවෙක්ද වන හෙයිනි.

මේ හැරුණු කල හිඟන මිනිසුන් ගැහැනුන් පමණක් නොව ඔවුන් ගේ දරුවන්ගේ සුබ සාධනය ගැන කටයුතු කරන නිලංකා ජයසූරිය පැවසුවේ ඔවුන් යටතේ සිප් සතර හදාරා ලොකු මහත්වූ වීදි දරුවකුගේ දරුවා දැන් ඉගෙන ගන්නේ ජාත්‍යන්තර පාසලක බවයි.

මේ වන විට වර්ල්ඩ් විෂන් ආයතනයෙහි සම්බන්ධීකරණ නිලධාරිනියක ලෙස කටයුතු කරන නිලංකා තවදුරටත් පවසන්නේ එක් පැත්තකින් අප මවිතයට පත්කරවන සුළු මෙවැනි කතා අසන්නට ලැබුණද මානුෂික ගැටලු නිසා ඇතිවන ප්‍රශ්නවලදී අපත් ඔවුනුත් අතර වෙනසක් නැති බවය. ඒ අන්කිසිවක් නිසා නොව යාචකයෝද මනුෂ්‍යයන් වන බැවිනි.




තිස්ස ප්‍රේමසිරි lakbima