Tuesday, September 10, 2013

►► එදා සුදු නංගී .....►►



අයෝමි දැන් දොස්තර නෝනා නේද?

රජයේ වෛද්‍යවරියක ලෙස කටයුතු කරන්න දැන් අවස්ථාව ලැබී තිබෙනවා. ගිය මාසයේ දී තමයි උපාධි ප‍්‍රධානෝත්සවය තිබුණේ. කොළඹ සරසවියේ දේශීය වෛද්‍ය අංශයේ උපාධිධාරිනියක්.


දැන් මොන රෝහලේ ද සේවය කරන්නෙ?
තවම ලියාපදිංචි වුණා විතරයි. අනාගතයේදී රෝහලක් ලැබෙයි.

ලංකාවේ කොහෙ වුණත් සේවය කරන්න කැමතිද?
ඒක වගකීමක්. ඒ වගකීමට අපි බැඳිලා ඉන්නෙ.


එතකොට රඟපෑම් වලට යන්නෙ කොහොමද?
ඒක නම් ඉතින් සීමා කරන්න වේවි.


වෛද්‍ය වෘත්තීය සහ රඟපෑම් වෘත්තිය අතරින් ඔබ වඩා කැමැති වෘත්තිය මොකක්ද?
මේ අංශ දෙකටම එක විදියට කැමතියි. නමුත් වෛද්‍ය වෘත්තියට මුල් තැන දේවි.


වෛද්‍යවරියක් වීම ගැන අද ඔබට හිතෙන්නෙ කොහොමද?
පුංචි කාලයේ ඉඳලාම තිබූ අරමුණක් සඵලවීම ගැන හරි සන්තෝෂයි.


ඇයි වෛද්‍යවරියක් වෙන්නම හිතුවේ
.
ඒ වෘත්තියට ගොඩාක් ආසයි.


දේශීය වෛද්‍ය අංශයම තෝරා ගත්තෙ ඇයි ?
බටහිර අංශය සඳහා ලකුණු මදි වුණා. ඒත් දේශීය වෛද්‍ය අංශයට තේරීම ගැන අද මම ගොඩක්ම සතුටු වෙනවා. මම හිතන්නෙ එම අංශය තවම ජනතාවගේ අවධානයට හරියටම යොමු වෙලා නැහැ. එය ඇත්තටම ආශ්චර්යවත් දෙයක්. අද දේශීය අංශයේ වෛද්‍යවරියකවීම ගැන මට තියෙන්නෙ ලොකු සතුටක්.


අද සමාජයේ මිනිසුන්ට වැඩිපුර තියෙන්නෙ මොන වගේ රෝගී තත්ත්වයන්ද?
අධි රුධිර පීඩනය, මේදය වැඩිකම. දියවැඩියාව සහ අම්ලපිත්ත හෙවත් ගැස්ට‍්‍රයිටීස් රෝගී තත්ත්වයන්.


ඇයි එහෙම වෙන්න හේතුව?
ආයුර්වේදයට අනුව ගත්තාම ආහාර හා විහරණයේ හෙවත් ඇවතුම් පැවතුම්වල තියෙන වැරදි ක‍්‍රම නිසයි. බොහෝ වෙලාවට සමබල ආහාර වේලකට වඩා පිටි සහිත ආහාර භාවිතය මේ සියල්ලට හේතුවයි.


ඔබ ආහාර පාන සහ සාමාන්‍ය ජීවිතයේ දී නිවැරදි ක‍්‍රමයක් අනුගමනය කරනවාද?
හැකි සෑම අවස්ථාවකදීම එය කරනවා.


ඔබගෙ පැහැපත් බවේ රහස මොකක්ද?
පොඩි කාලයේ ඉඳලම මේ පැහැය තමයි.

ඔබගෙ රඟපෑම් ගැන රසිකයින් මොනවද කියන්නෙ?

බොහෝ වෙලාවට මට වැඩිපුර ප‍්‍රතිචාර ලැබෙන්නෙ මැදි වයසේ අම්මලාගෙන්. ඒකට හේතුව නම් මම දන්නෙ නැහැ. මේ දිනවල නම් බොහෝ දෙනා ප‍්‍රතිචාර දක්වන්නෙ කෝරලේ මහත්තයා-ටිකිරි චරිතය සහ අසිනි චායා නාට්‍යයේ චාපා යන චරිතය නිසයි. හැබැයි අද රඟපෑම් ගැන අහනවාට වඩා රසිකයින් මගෙන් අහන්නෙ වෙනත් දෙයක් ගැනයි.




ඒ මොකක් ගැනද?

බෙහෙත් ගන්න පුළුවන් කොහොමද කියලා අහනවා. ඒ වගේම එක් එක් රෝගවලට මොන වගේ බෙහෙත්ද ගන්න ඕනෑ කියලත් අහනවා. මගේ සහෝදර නළු නිළියන් පවා එහෙමයි. ඒ විදියට මම උගත් දේ වෙතින් දැනුවත් කිරීමට අවස්ථාව ලැබීම ගැන ලොකු සතුටක් තියෙන්නෙ.

අයෝමි කියන ඒ නම ගැන මොකද හිතෙන්නෙ ?

දරාගැනීමේ ශක්තියක් ඇති හිතක් තියෙන කෙනෙක් කියලා හිතෙනවා. හැබැයි ඉතින් ඒ මම හිතන විදියයි.


ඔබ කොහොම කෙනෙක්ද?

මම මට හිතෙන විදියට සරලයි. බුදු දහමට අනුව ජීවත් වෙන්න උත්සාහ ගන්න කෙනෙක්. නිර්මාංශයි. ඒත් ඉතින් මට මා ගැන නිගමනයකට එන්න බැහැ. සමාජය තීරණය කරාවි.